brand logo

වාහන ආනයනයට අලුත් ක්‍රමයක්

23 May 2022

විදෙස්ගත ශ්‍රමිකයන්ට විශේෂ දිරිදීම්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් ලක්ෂයක් එවනු ලැබුවහොත් වාහනයක් ආනයනයට අවසර ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. ඊට අමතරව ඔවුන්ට විශේෂ දිරිදීම් ප්‍රදානය කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳව අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

"අද දවස වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදුව, කිරිපිටි නොමැතිකම, බෙහෙත් නැතිකම වගේ අත්‍යවශ්‍ය කාරණාවලට විසදුම් ලබාදීමට අපි එකතුවී සිටිනවා. අපි මේ ගැන මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළාම මේ ගැටලු විසදා ගැනීමට කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය දැයි විමසා සිටියා. එතුමා අපිට සඳහන් කළේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන 500ක් ලැබෙනවා නම් පෝලිම් ටික නැති කරන්න, බෙහෙත් ටික දීලා මිනිස්සු මැරෙන එක නැති කරන්න, විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙන බවයි"

"මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා. ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා. ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා"

 

More News..