brand logo

වාසු ඇසුරු කළ ඇමැතිවරු 10ක් නිරෝධායනය කෙරේ

12 January 2021

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයකු බවට ඊයේ (11 වැනිදා) පෙරවරුවේ තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහු සංචරණය කළ ස්ථාන සහ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය කරගෙන ඇත. පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැති දින හතරේදීම වාසුදේව නානායක්කාර ඇමැතිවරයා රැස්වීම්වලට සහභාගි වී ඇත. මෙම දින හතර පුරා සභා ගැබේ මෙන්ම ඉන් පිටතදීද ඇමැතිවරයා සමග ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දස දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනකු සමීපව ආශ්‍රය කර ඇතැයි හඳුනාගත් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘අරුණ’ට පැවසුවේය. එම ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වන ලෙස හා නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඇතැයිද හෙතෙම පැවසුවේය. මෙම ඇමැතිවරුන්ගේ නම් තමන්ට හෙළි කළ නොහැකි බවද වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළේය. වාසුදේව නානායක්කාර අමැතිවරයා සභා ගැබ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළියේ විසිවැනි අසුනේය. ඔහුගේ දකුණු පස ආසනයක් නොමැති අතර මඳක් යාබදව නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න අසුන්ගෙන සිටී. වාසුදේව නානායක්කාර ඇමැතිවරයා අසලම වම්පසින් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සහ ඔහුට වම්පසින් ඇමැති මහින්ද අමරවීරගේ අසුන් ඇත. ඉන්පසු ඇමැති විමල් වීරවංශගේ ආසනයත් ඔහුට පිටුපසින් රාජ්‍ය ඇමැති නිමල් ලංසාගේ ආසනයත් තිබේ. වාසුදේව නානායක්කාර ඇමැතිවරයාට පිටුපස අසුනේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමද ඔහු අසලින් ජයන්ත සමරවීර හා විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ද අසුන්ගෙන සිටින බව හඳුනාගෙන ඇත. පාර්ලිමේන්තු රැස්වීමට පෙර වේත්‍රධාරීවරයා සෙංකෝලය තැන්පත් කළ පසු කථානායකවරයා මුලසුනට පැමිණෙද්දී සභාව නිශ්ශබ්ද කිරීම සඳහා ‘ගරු කථානායකතුමා’ යැයි නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න හඬ නඟා පවසයි. ඔහු එසේ පවසන්නේ වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ මයික්‍රපෝනයෙන් බවද හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිත දෙවැනි ඇමැතිවරයා වේ. ඇමැති දයාසිරි ජයසේකර කොවිඩ් ආසාදිතයෙක් බවට පසුගිය සිකුරාදා තහවුරු වූ අතර විපක්ෂයේ මන්ත්‍රී රවුෆ් හකීම් කොවිඩ් ආසාදිතයෙක් බවට පෙරේදා (10 වැනිදා) තහවුරු විය. දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තු නොපැමිණියද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා (08 වැනිදා) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය. මේ අතර අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාද කොවිඩ් ආසාදිතයකු ලෙස තහවුරු වී ඇති අතර ඔහුද පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇත. මේ අයගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් විසිපස් දෙනකු පමණ මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත. අජිත් අලහකෝන්
 

More News..