brand logo

වාස් ගුණවර්ධන ඇතුළු 06 දෙනාගේ අභියාචනා විභාගය ලබන 06 වනදා

29 January 2019

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව සඳහන් වෙයි. අද(29) මෙම අභියාචනා පෙත්සම් සිසිරද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලබා ඇති අතර එම අභියාචනා අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන 85 ක් අතුරින් තමන් වෙත මේ වන විට ලැබී ඇත්තේ ලේඛන 11 පමණක් බවය. ඒ හේතුවෙන් ඉතිරි ලේඛන ද තමන් වෙත කඩිනමින් ලබා දෙන මෙන් නියෝගයක් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළ අතර එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන මේ මස 31 වන දාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කර ඇත. 2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබීය.
 

More News..