brand logo

වාර්තා ගත ටෙස්ට් ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 137ක් අවශ්‍යයි

23 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. ඊයේ දිනයේ තරගය නිමාවට පත්වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ ඔෂධ ප්‍රනාන්දු ලකුණු 17ක් ලබාගෙන සිටියා. නායක දිමුත් ලකුණු 19ක් ලබාගත් අතර, ලහිරු තිරිමාන්න ලකුණු 10ක් ලබාගත්තා. තරගය ජයග්‍රහණය සදහා ලකුණු 197ක අභියෝගයක් ලබාගනිමින් පෝර්ට් එළිසබත් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම සදහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137ක් පමණයි. මෙම තරගයේ පළමු ඉනිම සදහා දකුණු අප්‍රිකාව ලකුණු 222ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව රැස්කර ගත්තේ ලකුණු 154ක් පමණයි. දෙවැනි ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි. ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පෝර්ට් එළිසබත් පිටියේදී මෙම තරගය ජයග්‍රහණය කළහොත් එය වාර්තා පොත් අතරට එක්වනු ඇති. ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී මෙතෙක් කිසිදු ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොතිබීමයි. 1993 වසරේ සිට මෙතෙක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 11ක් පැවැති අතර, ඉන් තරගාවලි 7ක් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ ටෙස්ට් තරගාවලි තුනක් පමණයි. එක් තරගයක් පමණක් ජය පරාජයකින් තොරව අවසන්ව තිබෙනවා. ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ටෙස්ට් ජයග්‍රහණය වාර්තා පොත් පමණක් නොවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි හිස එසවීමට ශක්තියක් වනු නොඅනුමානයි.
 

More News..