brand logo

වාණිජ වගා ළිංවලට ආණ්ඩුවෙන් ජල මීටර්

03 February 2019

වාණිජමය කෘෂිකර්මාන්ත කටයුතු සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ඉදිකරනු ලබන හා ඉදිකළ ළිං හා වගා ළිං දෛනිකව ලබා ගන්නා ජල ප්‍රමාණය නඩත්තු කිරීම සඳහා ජල මනු හෙවත් ජල මීටර් (Flow meter) සවි කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඊට අදාළ නීති ඇතුළත් 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනතේ 16 වැනි වගන්තියට යටත්ව 2017 මාර්තු 16 වැනි දින අංක 2010/23 සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විටත් නිකුත් වී තිබේ. එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැතිවරයාව සිටි ගාමිණී විජිත් විජයමුණි සොයිසා අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මින් ඉදිරියට ස්වාභාවික ජල උල්පතක් හෝ ගැඹුරු හෝ නොගැඹුරු භූගත ජලය භාවිත කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ජල සම්පත් මණ්ඩලයේ නිසි ලිඛිත අනුමැතියක් ලබා ගත යුතු බව සඳහන් කර ඇත. කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකරනු ලබන විෂ්කම්භය මීටර් 4ක් හෝ ඊට වැඩි වගා ළිං, ස්වාභාවික ජල උල්පතකින්, නිෂ්පාදනය කළ නළ ළිං, වගා ළිං යොදාගනිමින් කරනු ලබන වාණිජමය කෘෂිකාර්මික කටයුතු හා ව්‍යාපාර හා වෙනත් ඕනෑම කර්මාන්තයන් සඳහා ලබා ගන්නා ජලය සඳහා මනු සවිකෙරෙයි. එසේ ඉදිකරනු ලබන ළිං ජලසම්පත් මණ්ඩලයෙන් පරීක්ෂා කරන අතර සෑම මාස තුනකට වරක් ලබා ගන්නා ජල ප්‍රමාණයන්වල තොරතුරුද ලබා දිය යුතුය. ඒ අනුව කෘෂිකාර්මික ගොවිපොළ, සත්ත්ව පාලන ගොවිපොළ, පැළ තවාන්, රෙදි සෝදන ස්ථාන, කොහු සහ රබර් ආශ්‍රිත කර්මාන්ත, අයිස් කර්මාන්ත, හෝටල් කර්මාන්ත, වාහන සේවා ස්ථාන, බීම නිෂ්පාදන කර්මාන්ත, පානීය ජල බෝතල් කර්මාන්ත ඇතුළු කර්මාන්ත 12ක් සඳහා යොදා ගන්නා ජලය සඳහා මෙම නීතිය පනවා ඇත. චමින්ද සේනාරත්න
 

More News..