brand logo

ව්‍යවසායකයන්ට අත දෙන්න ලංකා බැංකුව චීනෙන් ණයක් ගනී

30 June 2020

පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී අසීරුතාවට පත් ව්‍යවසායකයින්ගේ ආර්ථිකයන් නැවත ගොඩනැංවීමේ පියවරක් ලෙස සිය අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 140කින් ශක්තිමත් කර ගැනීමට ලංකා බැංකුව සූදානම් වේ. ලංකා බැංකුව මෙලෙස අතිරේක ඩොලර් මිලියන 140ක් ලබා ගැනීමට සූදානම් වන්නේ ලොව විශාලතම සංවර්ධන මූල්‍ය ආයතනය වන චීන සංවර්ධන බැංකුව වෙතින් වන අතර ඊට අදාළ ගිවිසුම අද (30දා) අත්සන් තැබීමට නියමිතය. ආකර්ෂණීය අනුපාතයන් යටතේ ලබා ගන්නා බව ප්‍රකාශිත මෙම ණය මුදල් ඩොලර් මිලියන 70 බැගින් මේ වසරේ අගෝස්තු සහ දෙසැම්බර් මාසවල දී ලංකා බැංකුව සිය අරමුදල්වලට එක් කිරීමට නියමිතය. මීට අමතරව තවත් බහු පාර්ශ්වීය ණය ලබා දෙන්නන් දෙදෙනෙකුගෙන් ආකර්ෂණීය මිල ගණන් යටතේ තවත් ඩොලර් මිලියන 250ක දිගුකාලීන අරමුදල් සම්පාදනය කර ගැනීමට ද ලංකා බැංකුව කටයුතු කරමින් සිටී. මීට පෙර 2009 වර්ෂයේ දී ලංකා බැංකුව පළමු වරට චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළැඹි අතර අද දිනයේ එළැඹීමට නියමිතව ඇත්තේ චීනය සමග වූ දෙවැනි ගිවිසුමටයි. පසුගිය සිකුරාදා (26දා) මෙම ගිවිසුම පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැති අතර ඉන් අනතුරුව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ ලංකා බැංකුව විසින් සිය අරමුදල් උපයෝගි කර ගනිමින් ව්‍යවසායකයන් සහ සංචාරක කටයුතු පුනර්ජීවනය වෙනුවෙන් වැඩි මූල්‍ය සේවාවන් සපයනු ඇති බවයි. නයන තරංග ගමගේ
 

More News..