brand logo

වසීම් තාජුදීන් ඝාතනයේ තවත් නඩුවක් පෙබරවාරි 24 දක්වා කල්යයි

31 October 2019

ඝාතනය කෙරුණු රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් විනාශ කරමින් එම සිද්ධියේ වරදකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (31) නියෝග කළේය. මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහගත බවට විත්තියේ නීතිඥවරයා විසින් මීට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පදනම් සහිත බව සඳහන් කළේය. ඒ අනුව චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයාට අවස්ථාව තිබෙන බවත් එසේ චෝදනා සංශෝධනය නොකරන්නේ නම් විත්තිකරු මුදාහැරීමට අධිකරණයට සිදුවන බවද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු දක්වමින් තමා මෙම චෝදනා පත්‍රය සංශෝධනය කරන බව දැනුම් දුන්නේය. ඉන් අනතුරුව සංශෝධනය කරන ලද චෝදනා පත්‍රය විත්තිකරුට කියවා දූන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර සමරසේකර මහතා තමා එම චෝදනාවලට නිවැරදිකරු බව සඳහන් කළේය. ඒ අනුව නඩුව පෙබරවාරි මස 24 වන දා විභාගයට තැබීමට අධිකරණය නියම කළේය. 2012 වසරේ අභිරහස් ලෙස මරා දැමුණු වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ වරදකරුවන් නීතියේ රැහැනින් බේරාගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කර ඊට අදාළ වැදගත් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..