brand logo

වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු DIG අනුරට අධිචෝදනා

27 June 2019

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කළ හිටපු නියෝජ්‍ය ‌පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදීය. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුව විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය. එමෙන්ම විත්තිකාර අනුර සේනානායක මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපය මහාධිකරණයේ ඇපයක් වශයෙන් භාර ගැනීමට ද විනිසුරුවරයා අවසර දුන්නේය. විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බවත් විනිසුරුවරයා තවත් කොන්දේසියක් පනවනූ ලැබුවේය. එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ තර්ජනය කිරීමෙන් වළකින ලෙසත් දැනට නියම කර ඇති ඇප කොන්දේසි වලින් එකක් හෝ කඩ කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා විත්තිකරුට තරයේ අවවාද කළේය. එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන මෙන් ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 23 වන දා ආරම්භ කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂි දීම සඳහා නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඇතුළු සාක්ෂිකරුවන් හය දෙනකු වෙත සිතාසි නිකුත් කළේය.
 

More News..