brand logo

වසර 7කට පෙර සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමූ පුද්ගලයාට මරණීය දණ්ඩනය

07 November 2019

2012 වසරේ අනියම් පෙම් සබඳතාවක් හේතුවෙන් රත්මලාන ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සචේතනා සඳමාලි(31) නැමැති සිය බිරිඳ මෙන්ම කුෂාන් සඳරුවන් ද සිල්වා (අවුරුදු 03) සහ මාසයක් වයසැති නිශාන් භානුක ද සිල්වා යන දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විජේමුණි මධුර මනුරංගන ද සිල්වා නැමැති විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (07) මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කරන ලදී. 2012 වසරේ දෙසැම්බර් මස 16 සහ 17 වනදා අතර කාලය තුළ රත්මලාන, ගොලුමඩම ප්‍රදේශයේදී සිය බිරිඳ වන සඳමාලි ප්‍රනාන්දු (අවුරුදු 31 ) සහ වයස අවුරුදු තුනක් සහ මාසයක් වයසැති දරුවන් දෙදෙනා සමග සිය නිවස තුළදී ගිනි තබා මරා දැමීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ විජයමුණි මධුර මනුරංඟන ද සිල්වා නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ උච්චාරණයක් ලබාදී ඇති බවත් එම අපරාධ උච්චාරණය තුළින් ඔහු මෙම අපරාධය සිදුකර ඇති බව පිළිගෙන තිබෙන බව සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. මෙම අපරාධ උච්චාරණය තමා ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් නොවන බවට විත්තිකරු පසුව නඩු විභාගයේ දී ප්‍රකාශ කර තිබුණු බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරු මෙම අපරාධ උච්චාරණය සිදුකළේ ස්වේච්ඡාවෙන් ද? නැද්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ සාක්ෂි විභාගයක් පැවැත් වූ බව සඳහන් කර සිටියේය. එම සාක්ෂි විභාගය අවසානයේදී විත්තිකරු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම අපරාධ උච්චාරණය සිදුකර තිබෙන්නේ ස්වේච්ඡාවෙන් බවට තීන්දු කෙරුණු බවද විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් සිහිපත් කළේය. මෙම මරණවලට මූලික හේතුව වී තිබෙන්නේ විත්තිකරු "රෙබේකා" නමැති තරුණියක් සමග ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් බවට සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. එහිදී විත්තිකරු අවිවාහක පුද්ගලයෙකු ලෙස එම තරුණියට අඟවා ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තිබෙන බවත් නඩු විභාගයේ දී කරුණු අනාවරණය වූ බවත් විනිසුරුවරයා තම තීන්දුවෙන් පෙන්වා දුන්නේය. විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය සාක්ෂි බෙහෙවින් ඉවහල් වූ බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය. "විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මරණකරුවන් තුන්දෙනාගේ මරණ ගිනි ගැනීම නිසා සිදු වූ ඒවා ලෙසයි. එහෙත් මියගිය සචේතනා සඳමාලි නමැත්තියගේ මරණය ඇයගේ ගෙල සිර කිරීමෙන් ඇති වූ මරණයක් බවට අධිකරණ වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වුණා. එමෙන්ම කුෂාන් සඳරුවන් නැමති දරුවාගේ මරණය ද ගෙල සිර කිරීමෙන් ඇති වූ මරණයක් බවට සාක්ෂි ඉදිරිපත් වුණා. මෙම මරණය දෙකම සිදු වී තිබෙන්නේ ගිනි ගැනීම් ඇතිවීමට පෙර බවයි අධිකරණ වෛද්‍ය සාක්ෂි වලින් ප්‍රකාශ කෙරුණේ. ඊට අමතරව නිශාන් භානුක ද සිල්වා නැමැති දරුවාගේ මරණය ගිනි දැල්වලින් ඇති වූ මරණයක් බවට අධිකරණ වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වුණා. එම මරණය සිදුවන අවස්ථාවේ මියගිය දරුවා සිය මවගෙන් කිරි උරා බොමින් සිටි බවට වෛද්‍ය සාක්ෂි වලින් අනාවරණය වුණා." යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම මරණ ත්‍රිත්වය ගිනි ගැනීම්වලින් සිදු වූ මරණ නොව විත්තිකරුගේ මරණීය චේතනාව හේතුවෙන් සිදු වූ මරණ බවට සාධාරණ සැකයකින් තොරව සනාථ වන බව සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. ඊට අමතරව රජයේ රස පරීක්ෂක සාක්ෂිවලින් ද මෙම ත්‍රිත්ව ඝාතනය විත්තිකරු විසින් සිදුකර තිබෙන බව මනාව ඔප්පු වන්නේ යැයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. " මෙම මරණ ත්‍රිත්වය ගිනි ගැනීමෙන් සිදු වූ බවට විත්තිකරු විසින් නඩු විභාගයේ දී ප්‍රකාශ කර තිබුනා. එම මරණ විදුලි කාන්දුවකින් සිදුවූ බවයි විත්තිකරු සඳහන් කර තිබුණේ. ඒත් රජයේ රස පරීක්ෂකවරයා විසින් අපරාධය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමේදී ඒ අසල ඉටිපන්දම් සහ ගිණිකූරු තිබී හමුවී තිබෙනවා. මෙම ගිනි ගැනීම විදුලි කාන්දුවකින් සිදුවූ එකක් නොවන බව රජයේ රස පරීක්ෂකවරයා නිගමනය කර තිබෙනවා. එමෙන්ම අදාළ ගිනි ගැනීම සඳහා පෙට්‍රල් හෝ භූමිතෙල් වැනි ද්‍රව්‍යයක් ද යොදාගෙන නැහැ. ඉටිපන්දම් දල්වා මරණකරුවන් නිදාසිටි මෙට්ටය මත දැමීමෙන් ඇති වූ ගින්නෙන් ඔවුන් මියගොස් තිබෙන බව රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්ෂිවලින් අනාවරණය වුණා. එම මිනීමැරීම් විත්තිකරු විසින් සිදුකර තිබෙන බවටද රජයේ රස පරීක්ෂක සාක්ෂිවලින් ඔප්පු වී තිබෙනවා" යනුවෙන් සඳහන් කර සිටි විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් සාක්ෂි 16 ක් ඉදිරිපත් කළ බවත් එම සාක්ෂි වලින් අදාළ මිනීමැරුම් ත්‍රිත්වය විත්තිකරු විසින් සිදුකර තිබෙන බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ බවත් තීන්දු කර සිටියේය. මරණීය දණ්ඩනය ප්‍රකාශ කිරීමට මත්තෙන් යමක් කීමට තිබේදැයි අධිකරණය විසින් විත්තිකරුගෙන් විමසන ලදී. ඊට ප්‍රතිචාර දැක්වූ විත්තිකරු "ස්වාමීනි මෙම අපරාධයට මම සම්බන්ධ නැහැ. මම නිවැරදිකරු. මේක වැරදි තීන්දුවක්" යනුවෙන් විත්තිකූඩුවේ සිට සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සියල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන හෙයින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව ප්‍රකාශයට පත් කළේය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය. අධිකරණ වාර්තාකරු
 

More News..