brand logo

වසර 60කට පසු ආසියාවේ ආර්ථික අවපාතයක ලකුණු

19 September 2020

ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඉදිරි කාලයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසයි. දශක හයකට පසු ආසියාවේ ඇති වූ ආර්ථික අවපාතය මෙය බව සඳහන් වේ. එම තත්ත්වය ආසියාවේ රටවල් 45කට ආසන්න සංඛ්‍යාවක දැකිය හැකි වනු ඇති බවද සඳහන් වේ. ආසියාවේ ආර්ථික සංවර්ධනය 0.7% කින් පමණ හැකිළී යනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ආසියා සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළෙන් මේ කරුණු අනාවරණය විණි. "ආසියාවේ සහ පැසිපික් කලාපයේ බොහෝ ආර්ථිකයන්ගෙන් 2020 වසරේ ඉදිරි කාලයේදී දුෂ්කර වර්ධනයක් අපේක්ෂා කළ හැකි ය" යනුවෙන් ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥ යසුයුකි සවඩා පවසයි. ආසියා සංවර්ධන බැංකුව පෙන්වා දෙන අන්දමට මේ අයහපත් ආර්ථික වර්ධනය දකුණු ආසියාවේ රටවලට තදින්ම බලපානු ඇත. ඉන්දීය ආර්ථික වර්ධනය මේ වසරේදී 9%කිනුත්, චීනයේ ආර්ථික වර්ධනය 1.8%කිනුත් හැකිළෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ. අග්නිදිග ආසියාවේ ආර්ථික වර්ධනයත් 3.8%කින් පමණ පහළ වැටෙනු ඇත. සංචාරක කර්මාන්තය මත යැපෙන දූපත් රාජ්‍යවල ආර්ථිකයන් සංකෝචනය වීම වැඩි බවද සඳහන් වේ. ඒ අනුව ෆිජී රාජ්‍යයේ ආර්ථික වර්ධනය 19.5%කින්ද මාලදිවයිනේ ආර්ථික වර්ධන වේගය 20%කින්ද හැකිළෙනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව පවසයි. මේ වසරේ ඉදිරි කාලයේ මේ අයහපත් තත්ත්වය පැවැතියද ලබන වසරේදී ආසියා කලාපයේ ආර්ථික වර්ධනය වඩාත් යහපත් අතට හැරෙනු ඇතැයි ආසියා සංවර්ධන බැංකු බලධාරීහු සඳහන් කරති. ලබන වසරේ ආර්ථික වර්ධනය 6.8%ක් පමණ වනු ඇති බව එම ආයතනය පෙන්වා දෙයි. 2021දී චීනයේ ආර්ථිකය 7.7%කින්ද, ඉන්දියාවේ ආර්ථිකය 8%කින්ද වර්ධනය වනු ඇතැයි අනුමාන කෙරේ.
 

More News..