brand logo

වසර 5කින් පසු වාලච්චේනේ කඩදාසි කොළඹට

17 July 2020

වසර පහකට පසු යළි විවෘත වූ වාලච්චේන කඩදාසි කම්හලේ පළමු වාණිජ නිෂ්පාදන කඩදාසි තොගය මෙම මස 30 වැනි දින ​කොළඹදී අලෙවි කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඇමැති විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් මෙම අලෙවිය සිදුකරන බව ඊයේ (16 වැනිදා) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති විමල් රූපසිංහ සඳහන් කළේය. පරීක්ෂණ නිෂ්පාදන සාර්ථක වීමෙන් පසු වාණිජ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ඝනකම ජී.එස්.එම්. 100 සිට 210 දක්වා වූ කාඩ්බෝඩ් සහ කඩදාසි වර්ග තුනක් නිෂ්පාදනය කර තිබේ. යන්ත්‍ර සූත්‍රවල තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කළ පසුව බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයෙන් දිනකට ටොන් 70 ක්ද කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් දිනකට ​ටොන් 30 ක්ද නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇත. ඇඹිලිපිටිය කඩදාසි කම්හලද යළි විවෘත කිරීමේ සැලසුමක් ඇති බැවින් එය විවෘත කළ පසුව දේශීය කඩදාසි අවශ්‍යතාවෙන් 50% ක් මෙරට නිෂ්පාදනය කළ හැකි බවද ඔහු මෙහිදී සඳහන් කළේය. 2019 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂයේ මෙරට ආනයනය කර ඇති කඩදාසි ප්‍රමාණය ටොන් 120,000 ක් බවත් අපනයනය කර ඇති අබලි කඩදාසි ප්‍රමාණය ටොන් 155,000 ක් බවත් මෙම අවස්ථාවට එක්වූ ඇමැති උපදේශක සුදේශ නන්දසිරි සඳහන් කළේය. ඒ අනුව රටේ කඩදාසි නිෂ්පාදනය නොවීම නිසා විනිමය අනුපාතය, ඩොලරයක් රුපියල් 180 ක්ව පැවැතියදී සිදුව ඇති වාර්ෂික පාඩුව රුපියල් බිලියන 100 කට ආසන්නය. කඩදාසි නිෂ්පාදනය ක්‍රමිකව ඉහළ දැමීම හරහා විදේශයන්ට ඇදී යන මුදල් මෙරට ඉතිරි කරගත හැකි බව පැවැසූ ඔහු ඉදිරියේදී පැවැති නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. අක්කර 330 කට ආසන්න වූ වාලච්චේන කඩදාසි කම්හලට අයත් භූමි භාගයෙන් අක්කර 89 ක පමණක් ගොඩනැගිලි පිහිටා ඇති බැවින් ඉතිරි භූමි ප්‍රදේශය බහුවිධ කාර්යයන් සඳහා යොදාගන්නා බවද කීය. ඒ අනුව කොටසක සූර්ය පැනල ඉදිකිරීමට කටයුතු කර ඇති අතර භෝග වගාවක්ද සිදු කිරීමට නියමිතය. මීට අමතරව පැරණි යන්ත්‍ර සූත්‍රවලින් යුතු මෙම කම්හල වැඩ කරන කෞතුකාගාරයක් ලෙස ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසීය.   ශිරන්තනි මානවඩු
 

More News..