brand logo

වසර 30ක් පුතාව නිවසේ සිරකරගෙන සිටි මවක්

03 December 2020

වසර 30කට ආසන්න කාලයක් සිය පුතෙකු නිවස තුළ සිරකරගෙන සිටි බවට සැක කෙරෙන මවක පිළිබඳ පුවතක් ස්වීඩනයෙන් වාර්තා වේ. මෙම පුත්‍රයා මේ වන විට 40 වැනි වියෙහි පසුවන අතර ඔහු වයස අවුරුදු 10-11 කාලයේ සිට මේ ආකාරයෙන් සිරකරුවකු ලෙස සිටින්නට ඇතැයි සැක කෙරේ. මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ 70 හැවිරිදි මව අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවීමෙන් පසුවය. එයින් පසු ඉහත කී පුද්ගලයාගේ සොහොයුරියක නිවසට පැමිණි අවස්ථාවේ සිය සොහොයුරා මේ ආකාරයෙන් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම සොහොයුරිය තරුණ වියේ සිටිය දී පවුලෙන් වෙන්ව ගොස් ඇත. තමා පසුගිය දා නිවසට පැමිණි අවස්ථාවේ එය මුළුමනින්ම අඳුරින් යට වී තිබූ බවත්, මළ මුත්‍රා දුගඳින්ද, දුහුවිල්ලෙන්ද පිරී තිබූ බවත් ඇය මාධ්‍ය සමග පවසා තිබුණාය. කතා කළ විට නිවස තුළින් කිසිවකු පිළිතුරු නොදුන්නෙන් ඇය ඒ තුළ විපරම් කරමින් ඇවිදිමින් සිටිය දී මුළුතැන් ගෙයින් හඬක් ඇසී තිබිණි. එහි ගොස් බලද්දී සිය සොහොයුරා අඳුරු මුල්ලක ගුළි ගැසී වාඩි වී සිටින අයුරු ඇයට දැකගන්නට හැකි වී තිබේ. ඔහුගේ සිරුරෙහි බොහෝ තුවාල තිබූ බවද, ඔහු වෙතින් දැඩි දුගඳක් හැමූ බවද සොහොයුරිය සඳහන් කර තිබිණි. සිය සොහොයුරාට වයස අවුරුදු 10ක් පමණ වෙද්දී මව ඔහු පාසලෙන්ද ඉවත් කරගත් බව ඇය තවදුරටත් පවසා තිබුණාය. එම අවස්ථාවේ සිය සොහොයුරාගේ ඉරණම ගැන යම් පාර්ශ්ව දැනුවත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවද ඇය සඳහන් කර තිබිණි. මෙම පුද්ගලයා පසුව රෝහල් ගත කර තිබූ අතර වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහුට සැත්කම් පවා කිරීමට සිදුවන බවයි. සිය පුත්‍රයා සිර කරගෙන සිටීම සම්බන්ධයෙන් මව වැරදිකාරිය වුවහොත් ඇයට උපරිම වශයෙන් වසර 10ක සිර දඬුවම් පැනවීමට හැකියාව තිබේ. තම මවගේ එක් දරුවකු බාල වියේදීම මරණයට පත් ව තිබූ බවත්, ඒ පිළිබඳ ඇති වූ මානසික කම්පනයකින් ඇය පීඩා විඳිමින් සිටි බවත්, ඒ නිසා ඊළඟට ලැබුණු දරුවා ආරක්‍ෂා කර ගැනීම සඳහා අසීමිත උත්සාහයක නිරත වූ බවත් ඉහත කී සොහොයුරිය පවසා තිබුණාය. සහන් වික්‍රමගේ
 

More News..