brand logo

2019 වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150යි

04 August 2019

නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන තුළින් වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි. 2018 වසරේ වැටලීම් 49,312 ක් සිදුකර ඇති අතර, එයින් දඩ මුදල් වශයෙන් ලැබුණු රුපියල් මිලි. 253 ක් ලැබී තිබේ. 2015 වසරේ සිට සුරාබදු දෙපාර්තමේන්තුව සිය වැටලීම් සිදු කර ඇත. එය වාර්ෂිකව ඉහළ නංවමින් 2019 වසරේ මේ වන විට 25,000 පමණ වැටලීම් සිදුකර තිබේ.සුරා බදු ආදායම ද 2014 වසරේ සිට ඉහළ යමින් පවතී. 2014 වසරේ දී සුරාබදු ආදායම දැක්වුණේ රුපියල් බිලියන 69ක් ලෙසිනි. එහෙත් 2019 වසරේ සුරා බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130 ක් වන අතර ජූලි මස වන විට රුපියල් බිලියන 68 ක් සුරාබදු ආදායම වශයෙන් ලබාගෙන තිබේ. නීති විරෝධී මත්පැන් වල ඇතැම් විට වස මිශ්‍ර වූ අවස්ථාද තිබෙන බැවින් එයින් ජනතාවට සිදුවන ජීවිත අවදානම තුරන් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන සුරා බදු දෙපාර්තමේන්තුව සතුව දිවයින පුරා කාර්යාල 56 ක් ඇති අතර එහි 1,200කට අධික සේවක පිරිසක් සේවය කරති. නීති විරෝධී මත්පැන් පාලනය කිරීමේ විශේෂ ඒකකයකින්, මත්ද්‍රව්‍ය නාශක අංශයකින් සමන්විත සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකක 5ක් ද පිහිටුවා තිබේ. මෙම විශේෂ ඒකකවල නිලධාරීන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක විශේෂ මෙහෙයුම් සිදු කර හැකි වන අතර සංවිධානාත්මක නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වේ. විශේෂයෙන්ම මහජනතාවගේ සහයෝගය මත සහ උපාය දූතයන් මාර්ගයෙන් ලබා ගන්නා තොරතුරු අනුව එම නිලධාරීහු අදාළ වැටලීම් සිදුකර ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..