brand logo

වවුනියාවේ සරණාගත ගැටළුව - යුධ හමුදාව සර්ව ආගමික නායකයින්ට ඇතුළුවීමට අවසර නොදෙයි

22 May 2019

වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැඟිල්ලක් වෙත ‍ගෙනැවිත් සිටි පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයින් වහා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කිරීමට වවුනියාව සර්ව ආගමික නායකයින්, දේශපාලන නායකයින් හා වවුනියාව සිවිල් සංවිධාන නියෝජිතයින් ඊයේ(21) සවස පුනරුත්තාපන කදවුරු පරිශ්‍රය වෙත යාමට උත්සහ කිරීමේදී යුධ හමුදා නිළධාරීන් ට්‍රක් රථ යොදා පුහුණු මධ්‍යස්ථානයේ මාර්ගය වසා, සන්නද්ධව පැමිණ අදාළ පිරිස් වෙත අදාළ ස්ථානය වෙත යාම වළක්වාලනු ලැබීය. වවුනියාව දිස්ත්‍රික් ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයින් දැඩි වර්ෂාවේ තෙමෙමින් අදාළ ස්ථානය නිරීක්ෂණයට අවසරය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළද යුධ හමුදා නිළධාරීන් ඊට අවකාශ ලබා නොදිණ. ‍එහිදි වවුනියාව වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසක් පැමිණියද ඒ වෙනුවෙන් සර්ව ආගමික නායකයින්ට හෝ අවස්ථාවක් ලබානොදිණ. මීගමුව ප්‍රදේශයේ හිටපු පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණගාතයින් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරු භූමියේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ‍‍‍ගෙනඒම සම්බන්ධයෙන් මේ වන විට වවුනියාව ප්‍රදේශ‍යේ ජනතාව අතර අකමැත්ත වර්ධනය වෙමින් පවති. පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිරිසක් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පිහිටි ‍ගොඩනැගිල්ලක් වෙත 17 වැනිදා රාත්‍රියේ රැගෙන විත් ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති. අදාළ ස්ථානයේ කටයුතුවලට සම්බන්ධ නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකු පැවසූවේ පාකිස්ථාන ජාතිකයින් 19 දෙනෙකු හ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 16‍ දෙනෙකු පූන්තෝට්ටම් පුනරුත්තාපන කදවුරේ පිහිටි ගොඩනැඟිල්ලක් වෙත එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් විසින් ගෙනැවිත් ඇති බවයි. විදේශික සරණාගතයින් වවුනියාවට ගෙනඒමට විරුද්ධව ඊයේ(21) වවුනියාව නගර සභා ශ්‍රවණාගාරයේදී ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්විණ. සාකච්ජාවට එක්වු උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ණාථානයේ විහාරාධිපති පූජා මුවඇටගම ආනන්ද නාහිමියන් මෙලෙස පැවසූහ. අපි අද මෙතන පැහැදිලිව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික්කයට පාකිස්තාන අනාථයෝ ගෙනැල්ලා දාලා තියෙනවා.අපි ඒකට සම්පූර්ණයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව විරුද්ධයි.අපි ජාති භේදයක් ආගම් භේදයක් නෑ.අපි සියළුදෙනාම ඒකමතිකව ඒ අය මෙහෙන් බැහැර කරන්න කියලා මේ වෙලාවේදී අපි සාකච්ජා කරලා තීරණයක් ගත්තා දිසාපතිතුමාට ඒ ලියුම ඉදිරිපත් කරලා දින කිහිපයක් ඇතුළත මේ අය අයින් කරේ නැත්නම් ඊට වඩා දැඩි පියවරකට යන්න අපි සුදානම් කියලා අපි සදහන් කරන්න කැමතියි.අපි මේ ගැන පොලිසිය හා වන්නි යුධ හමු‍දාවේ ප්‍රධානියා වෙතත් ලිපි ලබාදෙනවා.මේ අය වහාම වවුනියාවෙන් අයින් කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. සාකච්ජාවට එක් වු කිතුණු පූජකතුමන්ලා පැවසූවේ වවුනියාවේ බෞද්ධ,හින්දු,කිතුණු ජනතාව ඉතාම සමඟියෙන් ඉන්න ප්‍රදේශයක්.වවුනියාව කියන්නේ සහජිවනයේ නගරය.අපි යුද්දේ කාලයෙත් බොහොම සමඟියෙන් හිටියා.ඒත් දැන් මේ කලබලයක් ඇතිවෙලා තිබෙනවා. පාකිස්තාන සරණාගතයින් පිරිසක් වවුනියාවට ගෙනැල්ලා දාලා.මේ රටේ දැන් අයි එස් අයි එස් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙන වෙලාවේ.ඒකට සහයෝගය දෙන පකිස්තානය වැනි රටවල පිරිසක් වවුනියාවට ගෙනැල්ලා දාපු එකට අපි එකහෙලා‍ම විරුද්ධයි. යුද්ධය හින්දා දුක් විදපු පිරිසක් තමයි උතුරු පළාතේ ඉන්නේ.මේ කොහෙවත් යන පිරිසක් ගෙනැල්ලා ඒ තුළින් නැවත ජනතාවට කරදර කරන්න තමයි රජය උත්සහ කරන්නේ.වවුනියාව කියන්නේ කුඩු ගොඩක් නෙවෙයි.එක එක කුණු කසල මෙ‍හෙට ගෙනැත් දාන්න. පාකිස්තාන සරණාගත ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව අතිරේක දිසාපති ටි.තිරේශ්කුමාර් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ අපි මේ සරණගාත ගැටළුව වෙනුවෙන් මැදිහත්වීමක් නෑ.මේ සිද්ධිය UNHCR එකෙන් තමයි කරන්නේ.අපි මෙතෙන්ට පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා විතරයි දන්නේ.අනෙක් කටයුතු UNHCR එකෙන් තමයි කරන්නේ. ගැටළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වවුනියාව කාර්යාලයෙන් අදහස් විමසීම වෙනුවෙන් අදාළ නියෝජිතයින් හමුවීමට වවුනියාව ප්‍රදේශවාසීන් ගියද ඒ වෙනුවෙන් අදාළ පිරිස් පිළිතුරු ලබානොදිණ. වවුනියාව මාධව කුලසූරිය
 

More News..