brand logo

වවුනියාවේ ඉඩම් අක්කර 54.38 ක් නැවත පවරයි

23 January 2019

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කදවුරු සීමාවන් තුළ පැවති ඉඩම් අක්කර 54.38 ක් නැවත සිවිල් ජනතාව වෙත හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා වෙත පැවරීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) සිදුකෙරිණ. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ නියෝග මත වන්නි ආරක්ෂක සේනාවන් සතුව පැවති රජයේ ඉඩම් අක්කර 40.74 ක් හා සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 13.64 ක් එලෙස නැවත පවරාදීම සිදුකරනු ලැබීය. පැවති යුධ ගැටුම් අවස්ථාවන්හි ආරක්ෂක අංශ කදවුරු ස්ථාපිත කිරීම වෙනුවෙන් අදාළ ඉඩම් යුධ හමුදාවන් පවරාගෙන තිබු අතර,යුධ හමුදාව සතුව පවතින ඉඩම් නැවත පැවරීමේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් නිදහස් කිරීම සිදුකෙරිණ. ජනාධිපතිවරයාගේ නියෝග යටතේ ආරක්ෂක අංශ සතුව පැවති නිදහස් කළ හැකි සියළුම ඉඩම් නැවත සිවිල් ජනතාව වෙත නිදහස් කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබයි. වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී කර්නල් අනිල් පීරිස් මහතා විසින් වවුනියාව දිස්ත්‍රික් ලේකම්වෙත පැවරු ඉඩම්,දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරිණ. වැඩසයහන් අවස්ථාවට වවුනියාව ප්‍රාදේශීය ලේකම් කේ.උදයරාසා මහතා,වවුනියාව‍ නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කේ.පරන්දාමන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..