brand logo

වල දැමු සතුන්ගේ කොවිඩ් සිරුරු වල දියරමය ස්වභාවය පස මතුපිටට ඇවිත්

06 December 2020

ගිනි ජාලාවක් ඇරඹෙන්නේ එක් ගිනි පුපුරකිනි. එය සනාථ කරමින් ලොවපුරා විනාශය පතුරුවමින් ව්‍යාප්ත වන කොරෝනා රෝගයද චීනයේ එක් පුද්ගලයකුගෙන් ආරම්භ වූ බව දැනට අප දන්නා කාරණයයි. නමුත් එම රෝගියාට වයිරසය බෝ වූයේ කාගෙන්ද? එය තවම හරිහැටි සොයාගෙන නැත. නමුත් එයට යම් තරමකට ගැළපිය හැකි පිළිතුරක් සමග මේ දිනවල ඩෙන්මාර්කය අර්බුදයක පැටලී සිටී. ඒ එරට මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ‘මින්ක්’ ගොවිපොළවල් හා කොවිඩ් - 19 වයිරසය සමග එම සතුන්ගේ ඇති සම්බන්ධතාව පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමගය. පසුගිය ඔක්තෝබර් මාසයේදී මින්ක් සත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයක යෙදුණු ඩෙන්මාර්ක් විද්‍යාඥයෝ විසින් කොවිඩ් - 19 වයිරසය බවට පත්විය හැකි වයිරසයක් මින්ක් සතුන් ආශ්‍රය කළ පුද්ගලයන් 12 දෙනකු පරීක්ෂාකර සොයා ගත්හ. එයින් හෙළිවූයේ මිනිසාගෙන් මෙම සතුන් ආසාදනය වී ඔවුන්ගේ ශරීර තුළදී විකෘතියකට ලක්වීමෙන් පසු නැවත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවයි. ටිකින් ටික මේ සිදුවීම ඩෙන්මාර්කය තුළ අර්බුදයක් දක්වා දුරදිග ගියේය. අගමැති මෙටේ ​ෆ්‍රෙඩ්රික්සන් තීරණය කළේ සියලුම මින්ක් සතුන් ඝාතනය කිරීමය. කොවිඩ් - 19 ආසාදනය වූ හා නොවූ මිලියන 17ක් පමණ වූ සතුන් සියල්ල මේ අනුව ඝාතනය කර බටහිර ඩෙන්මාර්කයේ වළවල්වලට දමා මීටර 2 ක් පමණ පස් තට්ටුවකින් වසා දමනු ලැබීය. ‘‘අප කොවිඩ් - 19 පාලනය කිරීම සඳහා එක් පියවරක් ඉදිරියට තැබුවා.’’ විදේශ අමාත්‍ය ජෙපේ කොෆොඩ් ප්‍රකාශ කළේය. අර්ධ ජලචර ක්ෂීරපායී සතකු වන මින්ක්, ඩෙන්මාර්කයේ රාජ්‍ය ආදායම කෙරෙහි ඉහළ බලපෑමක් කරන සත්ත්වයෙකි. උන් ඇති කරන්නේ ලොම් හා සම් නිෂ්පාදනය කිරීම සඳහාය. කොරෝනා බෝ කිරීමට උපකාරී වන සතුන් අතරින් මින්ක් සතුන්ට ප්‍රධාන ස්ථානයක් හිමිවන බව ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය ස්කොට් වීස්ගේ අදහසය. ‘‘වයිරසයකට ස්වයං ප්‍රජනනය විය නොහැකියි. එය ව්‍යාප්ත වන්නේ ජීවී සෛලයක ඇලීම මගින්. මිනිස්, සුනඛ, බළල් ආදී විවිධ වයිරස පවතිනවා. නමුත් අප තවම හරිහැටි දන්නේ නැහැ ඒවා ඔවුන්ගේ ශරීර තුළදී ක්‍රියාත්මක වන ආකාරය. එම තොරතුරු අනාවරණය කරගැනීමට විද්‍යාඥයන් තව තවත් අධ්‍යයනයන් සිදුකළ යුතුයි.’’ කෙසේ නමුදු ප්‍රධාන මින්ක් ගොවි පළවල් 200 ක පමණ සිටි මින්ක් සතුන් මිලියන 17 ක් මහා සංහාරයකට ලක් කොට වළලා දැමුවද ගැටලුව තවමත් එලෙසමයි. එමගින් තවත් ගැටලු නිර්මාණය වූවා පමණකි. මෙම සතුන්ගේ සිරුරු වළදමා තිබුණේ එතරම් ගැඹුරට සාරන ලද වළවල්වල නොවේ. එම සිරුරු දිරා යනවිට ඒ තුළ එක්රැස්වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් ආදී වායු නිසා සැහැල්ලු වී ටිකින් ටික පස මතුපිටට තල්ලු වන්නට පටන්ගෙන තිබිණි. මෙය අතිවිශාල අවදානමක් ලෙස බොහෝ දෙනා වටහා ගත්තේය. විශේෂයෙන්ම එම ප්‍රදේශයේ ජල උල්පත් හා දිය පහරවලට දැඩි බලපෑමක් එමගින් එල්ල විය හැකි බවට ජනතාව අතර දැඩි බියක් පැතිර ගියේය. තවත් විශ්ලේෂකයන් පිරිසක් ප්‍රකාශ කළේ සත්ත්ව සුසාන භූමි ආශ්‍රිතව පසෙහි නයිට්‍රජන් හා පොස්පරස් මූලද්‍රව්‍ය ප්‍රතිශතය ඉහළ යා හැකි බවය. ඒ ඔවුන්ගේ සිරුරු එකම තැනක දිරා යාම මගිනි. කෙසේ හෝ ඩෙන්මාර්ක පාර්ලිමේන්තුව තුළද දිගින් දිගටම මේ පිළිබඳව වාද විවාද ඇතිවිය. අවසානයේදී වළ දැමූ සිරුරු ගොඩ ගෙන පුලුස්සා දමන්නට යෝජනාවක් ගෙන එනු ලැබීය. මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තද ලැබිණි. මේ අනුව මින්ක් සුසාන භූමි ගොඩ දමා සතුන් ගොඩ ගැනීම සඳහා එරට පාරිසරික ඒජන්සියේ අනුමැතිය ලැබිය යුතුය. කෙසේ වුවත් කොවිඩ් - 19 මෘත ශරීර සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ප්‍රමිතිය වන්නේ ආදාහනය හෝ භූමදානයය. නමුත් යම් යම් ආගමික මතවාද අතර ගැටලුද එම ක්‍රමවේදය හරහා නිර්මාණය වී ඇත. එසේ වුවද මේ අවස්ථාවේ පිළිපැදිය යුත්තේ ආගමික මතවාදවලට වඩා කොවිඩ් ව්‍යාප්තියෙන් ලෝකය ගලවා ගැනීමට බව තර්කයක් නැත. මක්නිසාද යත් කොවිඩ් නිසා මැරෙන්නේ එක් ආගමික පිරිසක් පමණක් නොවන බැවිනි. එසේ නමුදු ඩෙන්මාර්කය මේ සා අර්බුදයකට ලක්වූයේ එක් වැරදි තීරණයක් හේතුවෙනි. ඊට මුල්වූ නිසාම ඩෙන්මාර්ක වැසියෝ විසින් මින්ක් සතුන්ව දැන් හඳුන්වන්නේ ‘පිල්ලියක්’ (Zombie) ලෙසිනි. කෙසේ වුවත් අත්දැකීම් ලැබෙන්නේ වැරදි සිදුවූ තරමටය. වඩාත් වැදගත් වන්නේ එම අත්දැකීම් භාවිත කරමින් වඩාත් නිවැරදි ක්‍රියාමාර්ග සොයා ගැනීමය. එවිට මේ මහා වසංගතය ලෝකයෙන් තුරන් කිරීම අපහසු නොවනු ඇත. ඒ පිළිබඳ සාක්ෂිවලින් ලෝක ඉතිහාසය පිරී තිබේ. වසන්ත විජේරත්න
 

More News..