brand logo

වලව බණ්ඩක්කා රත්තරං වගේ මිල නැංග හේතුව මෙන්න

06 June 2021

සති දෙකට කෙසෙල් කිලෝ ලක්ෂ 60ක් විනාශ කරන ඉන්දු සයුරේ (අ) මුතු ඇටේ කතාව

රජයේ මිලදී ගැනීමේ වැඩසටහනේ බොරුව එළිවේ

ඇඹුල් ක‍‍‍‍‍‍සෙල් කිලෝවක් රුපියල් 20 බැගින් කිලෝ තුනක් අලෙවි කර තමන්ට බණ්ඩක්කා කිලෝවක් රුපියල් 60 කට මිලදී ගැනීමට සිදුවූ බව වලවේ කෙසෙල් ගොවීහු පවසති. සති තුනක් තිස්සේ මුළු රටටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමා නිසා කෙසෙල් මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා ගෙවුණු සති දෙකෙහි පමණක් කෙසෙල් කිලෝ ලක්ෂ හැටක් පමණ විනාශ වී ඇති බව වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක පැවැසීය. ඇඹිලිපිටිය බරවකුඹුක, සූරියවැව, කිරිඉබ්බන්ආර, පන්නෙගමුව, තුංකම, මොරකැටිය ආදී ප්‍රධාන කෙසෙල් අලෙවි තොග පොළවල් හා කුඩා අලෙවි පොළවල් 20 ක පමණ ද ආශ්‍රිතව අලෙවි කිරීමට තිබූ කෙසෙල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 60 ක් පමණ පසුගිය සති 02 ක පමණ කාලය තුළ විනාශ කර ඇත.

වලව කලාපයේ කෙසෙල් හෙක්ටයාර් 30,000 ක් පමණද, ගස්ලබු හෙක්ටයාර් 5000 ක් පමණද වගා කර තිබේ. මෙ මගින් ගොවීහු 35,000 කට වැඩි පිරිසක් හා කුඩා අලෙවිකරුවන් 3000 ක් පමණද තම ජීවිකාව සපයා ගන්නා අතර පවතින වාතාවරණය හමුවේ ඔවුන් සියලු දෙනාම අසරණව සිටිති.

බරවකුඹුක පොළ ආශ්‍රිතව පමණක් සතියකට දින 02 ක් කෙසෙල් කිලෝ ලක්ෂ 10-12පමණ අලෙවි වේ. අනෙකුත් අලෙවි ස්ථාන ආශ්‍රිතව කෙසෙල් කිලෝ ලක්ෂ 40 ක් පමණද, ගස්ලබු කිලෝ ලක්ෂ 05 ක් පමණද අලෙවි වේ. මෙම අසීරු තත්ත්වය පිළිබඳ වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක පවසන්නේ මෙසේය. ‘‘දැනට සති 2 පමණ කාලයක සිට අපේ ගොවීන්ගේ කෙසෙල්, ගස්ලබු අලෙවි කර ගන්න බැරිව වගා බිම්වලම ඉදිලා අපතේ යනවා. අස්වැන්න නෙළන්නෙවත් නෑ. සමහර ගොවීන් සතිපොළවලට ගෙනාපු කෙසෙල් විකුණගන්න බැරිව ආපසු අරන් ගියා. ඇඹුල් කෙසෙල් තමයි වැඩිපුර තිබෙන්නේ. ඒවට මිලක් ඇත්තෙම නෑ. කෝලිකුට්ටු කෙසෙල් රු. 50 විතර මිලකටත්, සීනි කෙසෙල් රු. 20 විතර මිලටත් සුළු වශයෙන් අලෙවි කරනවා. ඒවත් වැඩි ප්‍රමාණයක් විකුණගන්න බෑ. අපි බොහෝ දෙනෙකුගේ ජීවිකාව කඩා වැටිලා. රජය මිලදී ගැනීමේ වැඩ සටහනක් තියෙනවා කිව්වට ඒකත් අපේ ගොවීන්ට ලැබිලා නැහැ’’ යැයි පැවැසීය. සුනිල් හරිස්චන්ද්‍ර - ඇඹිලිපිටිය
 

More News..