brand logo

වර්ණ සංඥා අසල රැඳෙන යාචකයන්ගේ අවදානම නොදුටුවේද?

17 June 2020

විශේෂයෙන්ම කොළඹ නගරය ඇතුළුව, මාර්ග වර්ණ සංඥා (කලර් ලයිට්) ඇති තැන්වල රැඳී සිටිමින් සිඟමන් යදින්නන්ගෙන් රථවාහනවල ගමන් කරන්නන්ට සිදුවන පීඩාව දුරු කිරීමට පොලිසිය හෝ වගකිවයුතු ආයතනයකට නොහැකි මන්ද? රතු වර්ණය දැල්වුණු සැණින්, නවතන ලද වාහන වෙත එන ඔවුන් මුදල් දෙනතුරු වාහනයේ වීදුරුවට තට්ටු කරමින් දෙන වදය සුළුපටු නැත. එය රියැදුරෙක් විසින් රථයක් ධාවනයේදී තබාගත යුතු මානසික සංයමය බිඳ දමන සිදුවීමකි. මෙය ඉතා සංවිධානශීලීව සිදුවන ජාවාරමක් බව කව්රුත් දනිති. එබැවින් දුප්පත් මිනිසකු එදාවේල හොයාගැනීමට අතපෑමේ දී හදවතින් නැගෙන කරුණාව මෙවැනි ජාවාරමුන් කෙරෙහි ඇතිවන්නේ නැත. ඇතිවන්නේ නුරුස්සනාසුලු හැඟීමක් පමණි. වර්ණ සංඥාව කොළ පැහැයට හැරුණු සැණින් මෙම වදයෙන් මිදී ඉක්මනින් ඉදිරියට ඇදීමට රියැදුරන්ගේ මනස යොමුවේ. එය මාර්ග අනතුරක් ඇතිවීමට අතවනන ස්වභාවයකි. නගරබද පෙදෙසකදී ඇතිවන වාහන තදබදය, රියැදුරන්ගේ සංයමය අවම කරයි. වර්ණ සංඥා පුවරුවේ රතු වැටුණු විට නැවතුණු වාහනය කොළ එළිය වැටුණු සැණින් හැකි ඉක්මනින් පෙරට ඇදෙයි. ඒ වන විට මේ සමහරක් හිඟන උදවිය සිටින්නේ පාර මැද්දේය. එය ඒ මිනිසුන් මෙන්ම රථයේ රියැදුරුද අනතුරේ දැමීමකි. වාහන තදබදයකදී ඉදිරියෙන් ඇදෙන වාහනයට මුවාවූ විට පාර මැද සිටින අයකු පෙනෙන්නට ඇති අවස්ථාව ඉතාම අල්පය. මෙවැනි අවස්ථාවක පසුපසින් එන වාහනයේ රියැදුරුට පාර මැද සිටින යාචකයා පෙනෙනුයේ අවසන් මොහොතේය. එක්කෝ යාචකයා අනතුරේය. නැතහොත් යාචකයා බේරන්නට වාහනය අනෙක් පසට ගන්නා රියැදුරු අනතුරේය. එපමණක් නොවේ. මෙවැනි වසංගත අවදානමක මෙම යාචකයන් මෙසේ වාහනවල ගමන් ගන්නා පිරිස් වෙත සමීප වීමද භයානකය. පුදුමය නම් එවැනි තැන්වල සිටිමින් වාහන හසුරුවන පොලිසියට මෙම යාචකයන් නිසා ඇතිවිය හැකි අනතුරු අවදානම හෝ අනෙකුත් අවදානම් නොපෙනීමය. නැතිනම් නොපෙනෙන සේ සිටීමය. මේ පිළිබඳ වගකිවයුතු තැන්වල අවධානය යොමුවී, මාර්ග වර්ණ සංඥා අසල ගැවසෙන මේ යාචක අවදානම ඉවත් කිරීමට කටයුතු කරනු ඇතැයි සිතමි.   ජේ.එස්.කේ පෙරේරා - වත්තල
 

More News..