brand logo

වරද මගේ නොවෙයි ලේකම්ගේ නියෝගය නොසැලකූ ගුරු මාරු අධ්‍යක්ෂවරියගේ

08 January 2021

පාසලට පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල කීවාය. විදුහල්පතිනිය මේ බව ප්‍රකාශ කරන්නේ ‘සිංහල සාහිත්‍යයේ එන කාන්තා වර්ණනා කරන්න ඔයාට බැහැ. විශාඛා විදුහල්පතිනිය පිරිමි ගුරුවරයකු දැක පරල වෙයි’ යන සිරස්තලය යටතේ ‘අරුණ’ පුවත්පතේ ඊයේ (7 වැනිදා) පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි. එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වේ. ‘‘මෙම ගුරුවරයාට අප පාසලට මාරුවීමක් ලැබී ඇති බව දැන ගත් අවස්ථාවේදී මා විසින් එම ගුරුවරයා පිළිබඳ විස්තර සොයාගෙන එම විස්තරවලට අනුව මෙම ගුරුවරයා පාසලට නොගැළපෙන අයෙක් බව දැනගෙන සැප්තැම්බර් 28 වැනිදා එම ගුරුවරයාට මෙම පාසලට මාරුවීමක් ලබා නොදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. මාගේ ඉල්ලීම සාධාරණ බව දන්වා ලේකම්වරයා විසින් මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු නොකර වෙනත් පාසලකට ස්ථාන මාරුව ලබා දෙන ලෙස දන්වා දුන් ලිඛිත ඉල්ලීමට සටහනක් යොදන ලදී. නමුත් ලේකම්වරයාගේ නියෝගය නොසලකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරිය විසින් මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇත. ජනවාරි 04 වැනිදා මෙම ගුරුවරයා බුලත් හුරුල්ලක් ලබාදී රාජකාරි බාරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේය. එහිදී එම ගුරුවරයාට අසුන් ගැනීමට අවස්ථාව මා ලබාදුන් අතර, එම ගුරුවරයාට මෙම පාසලේ රාජකාරි භාරදිය නොහැකි බව දන්වන ලදී. අදාළ ගුරුවරයා පවසන ආකාරයට මා විසින් කිසිදු අවස්ථාවක එම ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන අතර, වැඩ භාර දීම‌ට නොහැකි බව ප්‍රකාශ කළ අවස්ථාවේදී එම ගුරුවරයා මාගේ මේසයට තදින් පහර ගසමින් ‘අද වැඩ බාර දුන්නේ නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැතැ’ යි පවසමින් ඝෝෂා කරන්නට විය. ඉන් අනතුරුව මාගේ මේසයේ ඔළුව ගසාගෙන හඬන්නට ගත් බවද ප්‍රකාශ කරමි. එවිට මා පවසනු ලැබුවේ පස්වරු 1.30 වන විට මා කාර්යාලයෙන් බැහැරව යන බවත් ඊට පෙර ආරක්ෂක අංශයට පවසා සර්ව පුටුව පිටින්ම උස්සලා එළියෙන් තියන්න කියන්නම් යන බවත්ය. නමුත් ඊට පෙර මා කාර්යාලයෙන් බැහැර වන විටම ඔහුද පිටතට ගිය අතර, ආරක්ෂක අංශ පැමිණීමක් සිදු නොවීය. මෙම ගුරුවරයා එවකට සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක්ව සිටි ගීතා අබේගුණවර්ධන සේවය කරන වකවානුවේදී එම පාසලේ 12-13 ශ්‍රේණි සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කර ඇත. එම පන්තියක දැරියන්ට විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති බව දෙමව්පියන් විසින් දෙමාපිය රැස්වීමේදී විදුහල්පතිනියට දන්වන ලදුව ඒ සඳහා ලැජ්ජා සහගත වන ආකාරයට කටයුතු කර ඇති බව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ හිටපු විදුහල්පතිනි ගීතා අබේගුණවර්ධන ගෙන් අසා දැනගන්නා ලදී. ඉන්පසු විදුහල්පතිවරිය ඒ සම්බන්ධයෙන් විනය විමර්ශනයක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිනියගෙන් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විමසා කරුණු විනිශ්චය කර ගත හැකිය. තවද මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන බව දැනගත් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් විසින්ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලදී. එවන් වූ ඉතිහාසයක් ඇති ගුරුවරයකු ගෞරවනීය බාලිකා පාසලක විදුහල්පතිනියක් ලෙස පන්ති කාමරයට යැවීම මාගේ හෘද සාක්ෂියට එකඟව මා විසින් භාරගත් වගකීමට පටහැනි නොවන්නේද? මේ වැරැද්ද සිදු කරනු ලැබුවේ විශාඛා විදුහල්පතිනිය වන මා විසින්ද, ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂවරිය වන ධම්මිකා ජයනෙත්තිද යන්න ඔබට පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ සත්‍යය අවශ්‍ය ලෙස විකෘති කිරීමක් පමණක් වන අතර, මෙම පාසල පිරිමි ගුරුභවතුන් ඉතාම විනයානුකූලව තමන්ගේ රාජකාරි මනාව ඉටු කරන පාසලක් බවද මම තවදුරටත් ප්‍රකාශ කර සිටිමි. කිරි කළයකට ගොම බින්දුවක් වැටුණහොත් සිදුවන ප්‍රතිවිපාකය අපි සියලු දෙනාම ඉතාම හොඳින් දන්නා කරුණක් වන අතර, එවැනි කළු පැල්ලමක් විශාඛා විද්‍යාලයට ඇති වීමට මා විදුහල්පතිනිය ලෙස කිසිදිනක කටයුතු නොකරන බවද දන්වමි.’’
 

More News..