brand logo

වයඹ සෞඛ්‍ය සේවකයෝ 24දා වර්ජනයේ

20 August 2018

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගවලට සහාය පල කිරීමක් ලෙස ලබන 24 වැනිදා වයඹ පළාත තුළ සෞඛ්‍ය වෘත්තීය 14 ක් එක්ව එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. තව දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය. තලවිල දේවස්ථානයේ මාර්තු මස පැවති මංගල්‍ය රාජකාරිවල නිරත වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි අතිකාල දීමනා ගෙවීමට වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කටයුතු කර නැහැ. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා වට කීපයක් පැවැත්වූවා නමුත් මේ වන තුරු සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැහ. ඊට විරෝධය පල කරමින් මුලින්ම පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය 30 වැනිදා සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වුණා. තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියා. පසුව එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමක්ද සිදු කළා. අනතුරුව සේවයට වාර්තා කර ක්ෂෙත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. පුත්තලම දිස්ත්‍රිකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහාය පල කිරීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මේ වන විට ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටිනවා. වයඹ පළාත තුල මේ වන විට ඩෙංගු සහ බෝවන රෝග පැතිර යාමට පටන් ගෙන තිබෙනවා.පවතින අයහපත් කාළගුණික තත්ත්වය නිසා මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකියි. මේ දිනවල හලාවත මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමයයි. පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුන්නේෂ්වරම දේවාලයේ සෞඛ්‍ය රාජකාරි වලින්ද මේ වන විට ඉවත් වී සිටිනවා. මෙම තත්ත්වය නිසා මුන්නේෂ්වරම දේවාලයට පැමිනෙන බැතිමතුන් විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට ඉඩ තිබෙනවා. එමෙන්ම ඉදිරියේ පැවැත්වීමට නියමිත හජ්ජි උත්සවය අවස්ථාවේදී වයඹ පළාතේ ඇතැම් ප්‍රදේශ වල විශාල මාංශ ඉල්ලුමක් තිබෙනවා. නමුත් කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඒ සම්බන්ධයෙන් රාජකාරි කටයුතු සිදු කරන්නේ නෑ. මෙම හේතුව නිසා නීති විරෝධී ඝෝ ඝාතකාගාර බිහි වීමට පටන් ගෙන තිබෙනවා. මේ සියළුම ගැටළු මතුවී තිබෙන්නේ වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලකයින් විසින් සිදු කරන කඹ ඇදීම නිසයි. අපගේ ඉල්ලීම සාධාරන බව සෞඛ්‍ය බලධාරීන් පිළිගෙන තිබෙනවා. නමුත් ඔවුන් කිසිවෙකු ගැටළුව විසදීමට ඉදිරිපත් වන්නේ නෑ. අප ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කිරීම සදහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවය සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 14 ක් කැමැත්ත පල කර තිබෙනවා. ඒ අනුව ලබන 24 වැනිදා වයඹ පළාත තුල මෙම වෘත්තීය සමිති වල සාමාජිකයින් එක් දින වැඩ වර්ජනයක් පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා. මෙම තත්ත්වය නිසා වයඹ පළාත තුළ කිසියම් රෝගයක් පැතිර ගියහොත්ලමහ ජනතාව පීඩාවට පත්වුවහොත් එහි වගකීම පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සහ වයඹ ප්‍රධාන ලේකම්වරයා බාර ගත යුතුයි. පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා රත්නායක මහත්මියගෙන් අප විමසූ විට ඇය කියා සිටියේ මෙම ගැටළුව විසදිය යුත්තේ වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් බවයි. මේ සම්බන්ධයෙන් දැන ගැනීම සදහා වයඹ ප්‍රධාන ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් ප්‍රධාන ලේකම්වරයා මේ වන විට විදේශ ගත වී සිටින බව දැන ගැනීමට ඇති නිසා එම උත්සාහ අසාර්ථක විය.
 

More News..