brand logo

වයඹ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවට විසඳුම ළඟදීම

19 July 2019

වයඹ පළාත් සංවර්ධන අරමුදල ගොඩනැගීම සඳහා විදුහල්පතිවරුන් මාර්ගයෙන් පාසල් දරුවන්ට අභ්‍යාස පොත් අලෙවි කිරීමට තමා කිසිවිටෙක බල නොකළ බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පැවසීය. වයඹ පළාතේ සිටින පාසල් දරුවන් සඳහා අවශ්‍යතා රැසක් පවතින බවත් ඒවා ඉටුකිරීමට මෙම අරමුදල පිහිට වූ බවත් ඇතැම් වෘත්තීය සමිති මෙය දැඩිව විවේචනය කරමින් සිටින බවත් ඔහු කීය. වයඹ පළාතේ සිටින කිසිඳු විදුහල්පතිවරයෙකු මීට විරුද්ධත්වය පාමින් පැමිණිලි නොකළ බව පවසන ආණ්ඩුකාරවරයා සාමාන්‍ය වෙළෙඳපොළේ ඇති අභ්‍යාස පොතක මිලට වඩා අඩුවෙන් මේවා අලෙවි වන බවද සඳහන් කළේය. ඒ අනුව පිටු 120 දක්වා වූ පොත් කාණ්ඩයේ පොතක් සඳහා රුපියල් 15 ක මුදලක් අඩු වන අතර සී. ආර් පොතක් සඳහා රුපියල් 35 ක මුදලක් අඩුවේ. එමෙන්ම මෙය අභ්‍යාස පොත් වෙනත් ව්‍යාපාරික ආයතනයකින් ලබා නොගන්නා නමුත් මුද්‍රණ කටයුත්ත පමණක් වෙනත් ආයතනයටකට පවරා ඇති බව ඒ මහතා පැවසීය. ඒ හේතුවෙන් මෙවැනි අඩු මුදලකට අභ්‍යාස පොත් ලබාදීමට හැකිවූ බව හෙතෙම වැඩිදුරටත් කීය. මේ අතර වයඹ පළාත තුළ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ස්වෙච්ඡා ගුරුවරුන් බඳවා ගැනීමටද පේෂල ජයරත්න ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ. පසුගිය ජනවාරි මස උසස් අධ්‍යාපන ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු වෘත්තීයේ පිහිටුවීම සඳහා තරඟ විභාගය පැවැත්වූ අතර මාර්තු මස මෙයින් සමත් පිරිස සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබිණි. නමුත් එම පරීක්ෂණය පැවැත්වීමට පෙර දින එය වයඹ පළාත් සභාව මඟින් අහෝසි කරනු ලැබුවේ පැවති තරඟ විභාගයේ අඩුපාඩු රැසක් පවතින බව පවසමිනි. මේ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, " පැවති විභාගයේ අඩුපාඩු කරුණු වශයෙන් අටක් පෙන්වාදී තිබෙනවා. නැවත ප්‍රශ්න පත්තර බැලීමේදී සිසුන් 83 කගේ ලකුණු වෙනස් වෙලා තියෙනවා. ප්‍රශ්න පත්තරේ සැකසූ පුද්ගලයා පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ හේතුවෙන් අපි පැවති විභාගය අවලංගු කොට නැවත විභාගයක් පැවැත්වීමට කටයුතු කළා. නමුත් කලින් විභාගය පැවැත්වූ විභාගය සමත් සිසුන් 18 ක් මීට විරුද්ධව නඩුවක් ගොනු කළා. එයින් නැවත විභාගය පැවැත්වීම අත්හිටුවීමට අධිකරණ නියෝගයක් ලැබුණා. මේ නඩුවෙන් තීන්දුවක් එනතුරු අපි ඩිප්ලෝමා ගුරුවරුන් බඳවා ගන්නේ නෑ. මේ සම්බන්ධවෙන් ජනාධිපති විමර්ශනයක්ද සිදුකෙරෙමින් පවතිනවා. කෙසේ නමුත් පාසල්වල පවතින පුරප්පාඩු කඩනමින් පියවිය යුතු වෙනවා. ගුරුවරුන් නෑ කියලා මේ ළමයිගේ විභාග නවතින්නේ නෑ. ඒ නිසා තාවකාලිකව ස්වෙච්ඡා පදනමින් ගුරුවරුන් බඳවා ගැනීමට අපි තීරණය කළා. එමඟින් සියලු ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අප බලාපෙරොත්තු වෙනවා. ඒ වගේම මෙම පිරිසට යම් දීමනාවක් ලබා දීමටද කටයුතු කරනවා" යැයි පැවසීය. මේ වන විට වයඹ පළාත් සභාව තුළ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 300 ක් පමණ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. අප මේ සම්බන්ධයෙන් විභාගය සමත් සිසු පිරිසකගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ මෙම ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවයි. විභාගය අසමත් වූ සිසු පිරිසකගේ බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවද ඔවුහු සඳහන් කළහ. මේ වන විට අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින බැවින් වැඩිදුරටත් අදහස් නොදැක්වූ එම සිසු පිරිස අධිකරණ තීන්දුව අනුව තමන්ට සාධාරණයක් වනු ඇති බවට විශ්වාසය පල කළහ.
 

More News..