brand logo

වයඹින් ඇරඹි කුර රෝගය අනුරාධපුරයටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක්

11 January 2020

වයඹ පළාත තුළ පැතිර යන කුර රෝගය මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයටද ව්‍යාප්ත වීම හේතුවෙන් කුර සහිත සතුන් මියයන බවට තොරතුරු වාර්තා වේ. වයඹ පළාතේ පමණක් මේ වනවිට ගවයන් 83 දෙනකු මියගොස් තිස් හතර දහසකට ආසන්න සතුන් ප්‍රමාණයකට රෝගය වැලඳී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද 30%කින් පමණ අඩුවීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවකටද පත්ව සිටින බව කිරි ගොවීහු සඳහන් කළහ. වසංගත රෝගයක් වන කුර රෝගයෙන් එළුවන්, ඌරන් වැනි කුර සහිත සතුන්ටද එම රෝගය වැලඳීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව එම ගොවීහු සඳහන් කළහ. මේ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් අතිරේක පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය බී.සී.එස්. පෙරේරාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ වනවිට රෝගය පාලනය කිරීම සඳහා උපරිම ආකාරයෙන් කටයුතු කර ඇති බවය. මෙම රෝගය සුළඟින් පවා බෝවිය හැකි නිසා පාලනය කිරීමේදී දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත්, රෝගය වැලඳුණ සතුන්ගේ මස් අනුභව කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියේය. මියගිය සතුන් වැඩි ප්‍රමාණයක් කුඩා සතුන් වන අතර, එම ප්‍රමාණය 50ක් පමණ වන බවද සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..