brand logo

වඳුරන් යොදා හදන කොවිඩ් එන්නත

29 November 2020

නව කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ගණනාවක් පිළිබඳව මේ දිනවල කතාබහ මතුවී තිබෙන බවක් පෙනේ. ඒ සියල්ල ගැන තවමත් අපට කතා කරන්නට සිදුවී තිබෙන්නේ යම් යම් සීමා ඇතිවය. එහෙත් බොහෝ දෙනා පවසන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව කළ අත්දැකීම වඩා ප්‍රතිඵලදායක බවක් පෙන්වන බවය. දැනට තුන්වැනි අදියරේ පර්‌යේෂණ මට්ටමේ පවතින එය හැඳින්වෙන්නේ ChAdOx1 n CoV-2019 නමිනි. එය කොවිඩ් - 19 වයිරසය වළක්වන්නට මෙන්ම ඉහළ මට්ටමේ රැකවරණයක් දෙන්නටද සමත් බව පැවැසෙයි.
මේ පුවත දෙආකාරයකින් ලාංකිකයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වී තිබේ. එක් කාරණාවක් වන්නේ කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් අතිශය පීඩාවට පත්ව සිටින සමාජයක් හැටියට මේ එන්නතේ සහනය පැතීමය. දෙවැන්න නම් මේ එන්නත පිළිබඳ අත්හදා බැලීම් හා වැඩිදියුණු කිරීම් සම්බන්ධ පර්‌යේෂක මඬුල්ලට ශ්‍රී ලාංකාවේ උපන් වෛද්‍යවරියක් ඇතුළත් වීමය. මේ පර්‌යේෂණ පත්‍රිකාවේ ඇගේ නම සඳහන් වන්නේ මහේෂි එන්. රාමසාමි වශයෙනි. මේ වසරේ මැයි මාසයේ පර්‌යේෂණාගාර වඳුරන් ආශ්‍රිතව මුල්වරට අත්හදා බලන ලද ChAd Ox1 n CoV - 19 වැක්සීනය පිළිබඳ අධ්‍යයනයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපන් මේ වෛද්‍යවරියයි. ද ගාර්ඩියන් පුවත්පත ප්‍රකාශ කර ඇති අන්දමට ඇය මේ ඔක්ස්ෆර්ඩ් එන්නත පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඉතා විශාල දායකත්වයක් උසුලා තිබේ. සැබැවින්ම මේ වෛද්‍ය මහේෂි රාමසාමි යනු කවුරුන්දැයි සොයන්නට ලාංකිකයන් පෙලඹී ඇත්තේ මේ කාරණය නිසාය. වෛද්‍ය මහේෂි රාමසාමි සිය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනි. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෛද්‍යවරියකි. මහේෂි රාමසාමි හැඳින්වෙන්නේ විද්‍යාඥයන් දෙපළකගේ දියණියක් වශයෙනි. ඇගේ මවු, මන්ත්‍රී සමරනායක වැඩිදුර අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් වරමක් දිනා ගත්තාය. ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය ලබා පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයක් හරහා හිරු නොබසින අධිරාජ්‍යයට ගිය මහේෂිගේ මවු ශ්‍රී ලංකා නාමය බබළවන්නේ කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබූ ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඇගේ අධ්‍යාපනයට තෝතැන්නක් වූවා මෙන් ඇගේ ජීවන ගමනටද තීරණාත්මක බිමක් වූයේ මේ අතරවාරයේය. ඒ කේම්බ්‍රිජ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය පිණිස ලංකාවේ සිටම එහි පැමිණ සිටි විද්‍යාඥයකුගේ නෙතද - සිතද ඇයට හිමිවීම හරහාය. ඒ රන්ජන් රාමසාමිය. ලංකාවෙන් බැහැරව රාජකාරියේ යෙදුණු රාමසාමි යුවළ තම සිහිනයක් වෙනුවෙන් යළි මව්බිමට පැමිණෙන්නේ දියණිය මහේෂිට උපත දීම සඳහාය. කොළඹදී උපන් මහේෂි මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයෙනි. ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලද ඇය මවුපියන් ගිය අඩි පාරේම ගියාය. ඒ ඇය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා සම්බන්ධ වන්නට වරම් ලැබීය. ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍ය මහේෂි රාමසාමි ගැන සොයන්නට බොහෝ දෙනා මේ ලහිලහියේ යුහුසුලු වූයේ අන් කවරක් නිසා හෝ නොවේ. ඒ ඇය ඔක්ස්ෆර්ඩ් සරසවිය හා සම්බන්ධ කොවිඩ් වැක්සීනය නිමැවීමේ ලා පුරෝගාමී කාර්යභාරයක් උසුලන බැවිනි. ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනකා කොවිඩ් 19 ප්‍රතිවයිරසය සම්බන්ධ කණ්ඩායමේ ගවේෂකවරියක් වන ඇය මේ එන්නත ගැනද ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකට අදහස් දක්වා තිබුණි. ‘‘මේ වයිරසයෙන් වැඩිමනත්ව බලපෑමක් එල්ල වෙන්නේ වැඩිහිටි ප්‍රජාවටයි. ඒත් අපි හොඳටම දන්නවා වැක්සීන ක්‍රියාකාරිත්වය දරා ගැනීමත් වයෝවෘද්ධ තැනැත්තන්ට ඉතා අසීරු බව. වැක්සීන ප්‍රතිචාරයක් හරහා වයිරසයකට මුහුණ දීම ඉතා අපහසුයි එබඳු වයස්වල ඉන්නා අයට. ඒත් අපේ මේ සොයාගැනීම අපට සතුටට කාරණයක් වන්නේ එය වයෝවෘද්ධ ප්‍රජාවගේ සිරුරු තුළ පවා නිසියාකාරව ක්‍රියාත්මක වීමයි. අධ්‍යයනවලින් ඔප්පු වී තිබෙනවා ඔවුන් තරුණ වයස්වල පසුවන්නන් හා සමානවම වයිරසයට මුහුණ දුන් බවක්. අපේ ඊළඟ පියවර වන්නේ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා මේ එන්නත වැඩි දියුණු කරගන්නේ කොහොමදැයි කියන කාරණය සොයා ගන්නටයි.’’ මහේෂි රාමසාමි සොයා යාම කිහිප ආකාරයකින් ලාංකිකයන් වන අපට වැදගත්ය. එකක් ශ්‍රී ලාංකික සාඩම්බරය වෙනුවෙනි. දෙවැන්න අප පීඩාවට පත් කරමින් සිටින ගෝලීය වසංගතයට එරෙහි සටනට ශ්‍රී ලාංකික කාන්තාවක් වෛද්‍යවරියක් යුරෝපා රටක සිට එක්වන අන්දම දැන ගන්නටය. ඒ සැමටත් වඩා අනාගත ශ්‍රී ලංකා ප්‍රජාවට ආදර්ශවත් චරිතයක් වශයෙනි. අප එබඳු චරිත ගැන වැඩිමනත්ව කතා කළ යුත්තේ තව තවත් වෛද්‍ය මහේෂි රාමසාමි වැනි විද්‍යඥයන් බිහිකර ගැනීම සඳහාය. අධ්‍යාපනයේ මග ඔබ - අප සිතනවාට වඩා බොහෝ දුරකට ඇදෙන බව ඊළඟ පරම්පරාවට ඒත්තු ගැන්වීම සඳහාය. පාලිත ජයකොඩි
 

More News..