brand logo

වඳවී යන කළු කොටියා 11 වසරකට පසු එළි බසී

21 January 2020

මෙරටින් වඳවී යාමට ලක්ව ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කළු කොටියකු වසර එකොළහකට පසුව මධ්‍යම කඳුකර පරිසර පද්ධතියේ සැරිසරමින් සිටියදී හමුවී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු කණ්ඩායමක් කරන ලද ගවේෂණයකදී මෙම කළු කොටියා හඳුනා ගැනීමට හැකිවී තිබේ. කොටියාගේ උප විශේෂ අටක් ලෝකයේ සිටින අතර ඉන් එක් උප විශේෂයක් වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික කොටියාය. මෙරටට ආවේණික ශ්‍රී ලංකා කොටියාගේ එක් වර්ණ ප්‍රභේදයක් වන්නේ කළු කොටියාය. අතීතයේදීද මෙරට සීමිත වශයෙන් කළු කොටි ගහනයක් වාර්තා වූ අතර මෙරට ජීවත් වූ අවසන් කළු කොටියා ලෙස වාර්තා වූයේ 2009 වසරේදී පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කොටියාය. එම කළු කොටියාගේ සම යොදාගෙන අනුරුවක් සාදා ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. පිටදෙණිය ප්‍රදේශයෙන් හමුවූ එම කළු කොටියාට පෙර තවත් කළු කොටි දෙදෙනකු හමුවී ඇති අතර එම කොටි දෙදෙනාද හමුවී ඇත්තේ මද්දකට හසුව මියගොස් සිටියදී බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන කියයි. එම කළු කොටින්ගෙන් පසු කළු කොටි ජීවත් වන බවට වාර්තා වී නැත. එමෙන්ම එම මරණවලින් පසුව ශ්‍රී ලංකා කළු කොටියාගේ ජානද ඉවත්ව ඇතැයි පරිසරවේදීහු අනුමාන කළහ. මේ අතර උඩවලව, දකුණු කලාපය සහ සබරගමුව ආශ්‍රිතව දිවි ගෙවන කොටි සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ වනජීවී මධ්‍යම කලාපයේ පශු වෛද්‍ය මනෝජ් අකලංක විසින් ගවේෂණයක් ආරම්භ කොට තිබිණි. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදීය. එම ගවේෂණයේදී කළ සොයා බැලීම් අනුව කළු කොටියකු ජීවත්ව සිටින බවට ස්ථාන හත අටකින් පමණ තොරතුරු දැනගන්නට ලැබී ඇත. එම ගවේෂණ කටයුතු සඳහා දුරස්ථ චලන සංවේදී කැමරා උපයෝගී කරගෙන තිබේ. ඒ අනුව මීට මාස හයකට පමණ ඉහතදී මධ්‍යම කඳුකරයේ ජීවත් වන කළු කොටියකු සිටින බවට ස්ථිර වශයෙන්ම නිරීක්ෂණය කිරීමට ගවේෂකයන්ට හැකිවී ඇත. ශ්‍රී ලංකා කළු කොටියකු මෙලෙස ජීවත්ව සිටියදී කැමරාවක සටහන් කරගත් ප්‍රථම අවස්ථාව මෙය බව ගවේශකයෝ පවසති. එම වීඩියෝ දර්ශන ගවේෂණ කණ්ඩායම සතුව පවතී. මෙම කළු කොටියා පිළිබඳ නිරීක්ෂණයත් සමග එම කොටියා සමග තවත් කොටි කීපදෙනකු එම පරිසර පද්ධතියේ ජීවත්ව සිටින බවට තහවුරු වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මෙසේ පවසයි. ‘‘කැලේ ඉන්න සත්තුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන්න ක්‍රමවේදයක් නෑ. ලෝකයේ කිසිම රටක එවැනි කටයුත්තක් සිදුකෙරෙන්නේ නෑ. මීට පෙර කළු කොටි මියගියේ ඒ සත්තු ඉලක්ක කර අටවන ලද උගුල්වලට හසුවීමෙන් නොවෙයි. එම උගුල් වෙනත් සතුන් ඉලක්ක කර අටවන ලද උගුල්වලට හසුවීමෙන්. මේ උගුල් අටවන එක නතර කිරීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි. මෙරට පරිසරයේ තවත් කළු කොටි ජීවත්වනවා ඇති. ඒ සංඛ්‍යාව කොපමණදැයි කියලා කියන්න බෑ.’’ සාලිය කුමාර ගුණසේකර
 

More News..