brand logo

වනජීවියෙන් කඳුකරයේ මදු ගලවයි

01 July 2020

තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ කොටියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව දියත් කර ඇති මදු ගැලවීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරමින් සිටින බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පැවසීය. වතු කම්කරුවන් විසින් වතු නිවාස සහ තේ වතු ආශ්‍රිතව මුඩු ඉඩම්වල එළවළු වගා කරන බවත්, වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අටවනු ලබන මදුවලට කොටියන් හසු වන බවත් ඔහු පෙන්වා දෙයි. වන සතුන් ගමන් කරන මාර්ග ඔස්සේ ඉව අල්ලමින් රාත්‍රී කාලයේ සැරිසරන කොටින් මෙසේ මදුවලට හසුවීම කලක පටන් සිදුවන්නකි. 2020 වසරේ පමණක් නල්ලතන්නිය වනජීවී කලාපය තුළ කළු කොටියා ඇතුළු පැන්තරා පාදුස් වර්ගයේ කොටි හය දෙනකු මදුවලට හසු වූ අතර ඉන් කොටි තිදෙනකු බේරා ගැනිණි. කළු කොටියා සහ තවත් කොටින් දෙදෙනෙක් මිය ගියහ. වගා භූමිය වටා කම්බි වැටක් හෝ සුදු ඉටි රෙදි ඇදීමෙන් එළවළු වගාව තරමක් දුරට ආරක්ෂා කර ගැනීමට හැකි බව පෙන්වා දෙන වන අඩවි නිලධාරියා පැවසුවේ තේ වතු ආශ්‍රිතව වගා භූමි අවට අටවා තිබූ මදු විශාල ප්‍රමාණයක් මේ වනවිට ගලවා ඉවත් කර ඇති බවයි. මේ සඳහා වතු අධිකාරිවරයාගෙන් නොමද සහයෝගයක් ලැබෙන බවත් තම කාර්යාලයේ නිලධාරීන්ද තේ වතුවලට ගොස් වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. සිතාර ඉරාෂ් - වටවල
 

More News..