brand logo

වතුර බිලේ ගැටලු ඇත්නම් වහාම මට කියන්න

15 June 2020

ජල බිල්පත් පිළිබඳ තවදුරටත් ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙස හිටපු ජල සම්පාදන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පවසයි. පසුගිය මාර්තු - අප්‍රේල් මාසවලදී නිකුත් කිරීමට නොහැකිවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවූ අපහසුතා පිළිබඳව ‘අරුණ’ කරන ලද විමසුමකට පිළිතුරු ලබාදෙමින් හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ‘‘මාස දෙකක කාලයකට තමයි බිල්පත් නිකුත් කරන්න බැරි වුණේ. එයින් පළමු මාසයට බිල්පත ගණනය කරල තියෙන්නේ. ඊට කලින් මාස තුනේ බිල්පත්වල සාමාන්‍ය ගණනය කරලා ඊට අනුකූලවයි. එතැනදී ජල පරිභෝජනය පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් සමහර තැන්වල සුවිශේෂී තත්ත්වයන් තියෙන්නේ පුළුවන් .ඒ කියනනේ එම මාසවල ජල පරිභෝජනය අඩුවෙලා බිල්පතේ අවසන මුදල වැඩියෙන් සටහන්වීම වගේ අවස්ථා. ඒ පිළිබද වහාම ජල සම්පාදන මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙන්න. එහෙම නැත්නම් කෙලින්ම මට දැනුම් දෙන්න. වැරැද්දක් වෙලා එහෙම නම් වහාම එය නිවැරදි කරනවා.’’ කෙසේ වෙතත් ප්‍රාදේශීය වශයෙන් ජල බිල්පත් පිළිබඳ ගැටලු රැසක් ‘අරුණ’ට වාර්තා වේ. වි‍ශේෂයෙන්ම වැඩිපුර අයකරන ලද බවට ජල පාරිභෝගිකයන් විසින් චෝදනා කරන ජල බිල්පත් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම් හා පැමිණිළි කිරීම් ප්‍රාදේශීය කාර්යාලවලට යෑමේදී පිළිතුරු නොලැබීම හා ජල බිල ගණනය කිරීම සම්බන්ධයෙන් නිවැරදි ක්‍රමවේදය අනාවරණය නොකිරීම පිළිබඳව පාරිභෝගිකයන්ගෙන් විශාල ලෙස චෝදනා එල්ලවී තිබේ. මේ පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයේ (බස්නාහිර - උතුර) කලාප ඉංජිනේරු ජී.එස්. ප්‍රදීප්ගෙන් ‘අරුණ’ කරන ලද විමසීමේදී ඔහු සඳහන් කළේ ඇඳිරි නීතිය අවසන් වීමෙන් අනතුරුව බිල්පත් නිකුත් කළ වහාම ජල බිල්පත්වල ගණනය කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් යම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බවයි. එහිදී ගණනය කිරීම් පිළිබඳ යම් ගැටලුවක් උද්ගතව පැවතියත් මීළඟ මාස වෙනුවෙන් නිකුත් කරන ජල බිල්පත්වලදී එම ගැටලුව නිරාකරණය කර ජල බිල්පත පාරිභෝගිකයන් අතට ලබාදෙන බවද කලාප ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නයන තරංග ගමගේ
 

More News..