brand logo

වට්ටෝරුව වට්ස්ඇප් කරන්න බෙහෙත් ටික ගෙදරටම

27 March 2020

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ අපහසුතාවකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම් සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බළකාය අවධානය යොමුකර ඇත. දියවැඩියාව, රුධිර පීඩනය ඇතුළු අනෙකුත් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳිරි නීතිය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමේ අපහසුතාවක් මතුව ඇත. එම ගැටලුව විසඳීම සඳහා සෑම නගරයකම ෆාමසියක් විවෘත කර එහි පොදු දුරකථන අංකයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කිසියම් රෝගියෙක් එම දුරකථන අංකයට වෛද්‍ය නිර්දේශ ඇතුළත් ඖෂධ වට්ටෝරුව ‘වට්ස් ඇප්’ මාර්ගයෙන් යොමු කළ යුතුයි. ඉන්පසු ෆාමසියේ ඖෂදවේදීන් නිවසටම ඖෂධය රුගෙන ඒමට නියමිතය. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර වාර්තාවක් ලබා දෙන ලෙස කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයට උපදෙස් ලබා දී ඇත. එම වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතර සාකච්ඡාවක්ද ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පැවැත් විණි.
ඖෂධ ක්ෂේත්‍රයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රි සාකච්ඡාවක්ද පැවැත් විණි. ඉදිරි මාස කිහිපයට ප්‍රමාණවත් ඖෂධ මෙරට ගබඩාවල පවතින බව මෙහිදී අනාවරණය විය. ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමට නොහැකි බව ආනයන සමාගම් මෙහිදී පෙන්වා දී තිබේ. ඉන්දීය රජයේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කළ කාර්ය සාධක බළකා සභාපතිවරයා එම ගැටලුවද නිරාකරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..