brand logo

වජිර අබේවර්ධන ගුටි නොකා බේරුණේ අනූනවයෙන් - සරත් ෆොන්සේකාටත් අසූ හාරදාහට නැගලා

19 January 2020

ක්‍රමක්‍රමයෙන් මහමැතිවරණයට දින ලංවෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සටන තව තවත් උග්‍ර වන බව පෙනේ. පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමේ අරමුණින් ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා රැස් වූ එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම ‘ගැටුමකින්’ අවසන් වූයේ ද මේ හේතුවෙනි. රැස්වීම පැවැත්වුණේ බ්‍රහස්පතින්දා සවසය. 77 දෙනෙකුගෙන් සමන්විත වූ එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 65 දෙනෙකු එම රැස්වීමට පැමිණ සිටි අතර මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විවිධාකාරයේ හේතු දක්වමින්, එදින එම රැස්වීමට සහභාගි වී සිටියේ නැත. කෙසේවෙතත් මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භයේදී සාකච්ඡා කෙරුණේ, රන්ජන් රාමනායක ගැනය. ඒ අනුව විවිධ මන්ත්‍රීවරුන් රන්ජන්ගේ හඬපට පිළිබඳව තම තමන්ගේ අදහස් කියන්නට වූ අතර බොහෝ අය කීවේ, රන්ජන් දඩමීමා කරගෙන ඉදිරියේදී ආණ්ඩුවෙන් විපක්ෂයට ද දැඩි ප්‍රහාර එල්ල විය හැකි බවය. නමුත් මේ කතාබහ වැඩිමනත් ඉදිරියට දිග්ගැස්සුණේ නැත. ඒ එදින සිරිකොතේ ලොකුම ප්‍රශ්නය ‘රන්ජන්’ නොවූ නිසාය. ඇත්තෙන්ම එදින සිරිකොතේ ලොකුම ප්‍රශ්නය ‘රනිල්’ බව ව්‍යංගයෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම නායකයා තෝරාගැනිමේ ඡන්දය පැවැත්වෙන්නේ කීයටදැ’යි අසන්නට පටන්ගත්හ. ‘‘අද ඔක්කොම කට්ටිය නෑ වගේ නෙ... ඉතිං කොහොමද ඡන්දයක් තියන්නෙ...?’’ රනිල් කීවේ ය. ‘‘අද ඇවිල්ල නැති ඔක්කොගෙම ඡන්ද ඔබතුමාට කියල හිතාගෙන ඡන්දෙ තියන්න...එතකොටවත් ඔබතුමාට තේරෙයි, අපි කැමති ඔබතුමාට ද, එහෙමත් නැත්නම් සජිත්ට ද කියලා...’’ මනූෂ නානායක්කාර රනිල්ට කීවේ, ‘පොල්ලෙන් ගසන්නාක්’ මෙනි. එවිට, තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ‘මනූෂගේ කතාව’ නිසා අඩියක් පසුපසට තිබූ රනිල් ටික වේලාවක් නිහඬවම සිටියේය. එම ‘කපටි නිහැඬියාව’ දරාගත නොහැකි වූ තැන සරත් ෆොන්සේකා ද කතා කරන්නට පටන්ගත්තේය. ‘‘දැන් ඡන්දයක් ගන්න... එහෙම නැතුව මේක හැමදාම කල්දාන්න බෑ...’’ එවිට වජිර අබේවර්ධන කෑගහන්නට පටන්ගත්තේය. ‘‘කරුණාකරලා ඔයා වාඩිවෙන්න... ආමි එකට දාපු චණ්ඩි පාට් මෙහේ අපට දාන්න එන්න එපා...’’ එවර සරත් ෆොන්සේකාටත් වඩා තරහ ගියේ ‘සජිත් පිලේ’ තරුණ මන්ත්‍රීවරුන්ටය. ඔවුන් වජිර අබේවර්ධන වටකරගෙන ඔහුට ‘බැණ’ වදිමින් ‘ගුටි’ අනින්නට ද සූදානම් විය. ‘‘ඇවන්ගාඩ් ඩීල් දැම්මෙ ඔයා... ඔයා වැඩකරන්නෙ රාජපක්ෂලට... පහුගිය ඡන්දෙදිත් ඔයා කළේ රාජපක්ෂලගෙ කන්ට්‍රැක්ට් එකක්... ඊළඟ ඡන්දෙනුත් ආණ්ඩුව දිනවන්න ඩීල් දාගෙන මෙහේ ඇවිත් පක්ෂෙ විනාශ කරන්න එපා...’’ සජිත් පිලේ තරුණ මන්ත්‍රීවරුන් කෑ ගසද්දී අකිල විරාජ්, සාගල රත්නායක, රවී කරුණානායක වජිර අබේවර්ධනත් ‘ඇදගෙන’ රැස්වීම් ශාලාවෙන් එළියට ගියෝය.
 

More News..