brand logo

වගකීම් බෙදාගෙන ගෙනයන්න රනිල්-සජිත් එකඟ වෙයි

16 September 2020

2010 මහ මැතිවරණයෙන් අනතුරුව කෙටි කලක් ගතවීමෙන් පසු එජාපයේ ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු බවට වූ අදහස යළි මතුව ආයේය. එවර එම අදහස මතුකර තිබුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසිනි. පෞද්ගලිකවම එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ ඔහු පක්ෂය තුළ වගකීම් බෙදී යන පරිදි නව ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට යෝජනා කළේය. ‘‘ඔව්, දයාසිරි ඔයා ඉදිරිපත් කරන්නේ හොඳ අදහසක්. මට ඒ ගැන තවත් යෝජනා තියෙනවා නං දෙන්න’’ එජාප නායක රනිල්, දයාසිරි මන්ත්‍රීවරයා කියා තිබුණේ යෝජනාවට පිළිතුරු වශයෙනි. ඒ අනුව ඔහු තවත් එජාප මන්ත්‍රීවරුන් පිරිසක්ද සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද ඇතුළත් දීර්ඝ වාර්තාවක් සකස් කොට එජාප නායකයාට භාරදීමට කටයුතු කළේය. අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ එම වාර්තාව සම්පූර්ණයෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම වාර්තාව පිළිබඳ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂ ව්‍යවස්ථාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් දීම සඳහා ව්‍යවස්ථාවේ සඳහන් 8-3 වගන්තිය ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය. එම වගන්තියේ සඳහන් වූයේ එජාප නායකයා තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවකින් පමණක් සිදු කිරීම හා එලෙස පත්කර ගන්නා පක්ෂ නායකයාගේ නිල කාලය පිළිබඳව සීමාවක් නොතිබුණු බවය. එමෙන්ම පක්ෂ නිලධාරීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේද වෙනසක් විය යුතු බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් දක්වමින් කියා සිටියේය. එම සාකච්ඡාවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ඒ පිළිබඳව පක්ෂයේ තීරණ ගන්නා මට්ටමේ සාමාජිකයන් සියලු දෙනාගේ අදහස් ගැනීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවය. ඒ අනුව ජෝසප් මයිකල් පෙරේරා, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කළේය. එම කමිටුව එජාප මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේද අදහස් ලබාගනිමින් මූලික වාර්තාවක් සකස් කොට එජාප නායක රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළේය. එම මූලික වාර්තාවේ සඳහන්ව තිබුණේ පක්ෂයේ නිලධාරීන් පත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මගින් සිදු කිරීම සුදුසු බවය. එමෙන්ම පක්ෂයේ නිලධාරීන් පත් කිරීම වසරක් පාසා සිදු කිරීමේ වැදගත්කමද එහි සඳහන්ව තිබිණි. එම වාර්තාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාර්තාවේ සඳහන් වැදගත් කරුණු පිළිබඳව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පිටතදීත් තැනින් තැන සාකච්ඡා කිරීම ආරම්භ වූයේය. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහස් පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවන බව එහි ඇතැම් සාමාජිකයන් සඳහන් කළ බැවිනි. ඒ අනුව ඔවුන්ගේ අදහස වූයේ පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් අවසන් වාර්තාවක් සකස් කළ යුතු බවය. එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ ද එම අදහස් අනුමත කරමින් අදහස් දැක්වීම සුවිශේෂීත්වයක් විය. ඒ පිළිබඳව මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක එවැනි අවසන් වාර්තාවක් සකස් කිරීමට යාමෙන් එම කටයුතු අවුල් වූ බව කියා සිටියේය. ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු කමිටුවේ වාර්තාව පිළිගනු ලැබුවේ නම් එජාප අභ්‍යන්තර ගැටුම මෙතරම් දුරදිග නොයන්නට ඉඩ තිබුණු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. ඔහුගේ මතය වූයේ එම අදහස් හා යෝජනා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් නොකර පක්ෂයේ මහ සමුළුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ඉඩ තිබුණු බවය. වැඩි පිරිසකගේ අදහස් හා යෝජනා ලබාගනිමින් අවසන් වාර්තාවක් සැකසීමේ අදහසට එජාප නායක රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇත්තේ ඔහුගේ සුපුරුදු කල් දැමීමේ උපක්‍රමය අත්හදා බැලීමට බව එවක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී තිබුණේය.මේ අතර එජාප අභ්‍යන්තරයෙන් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කළ යුතු බවට යෝජනාවක් පැමිණියේය. එහෙත් එවැනි යෝජනාවක් ගෙන ආ පිරිස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කළ යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ගෙන ආවේ නැත. එවැනි කතා බොහෝදුරට පැතිර ගියේ පක්ෂ අභ්‍යන්තරයෙන් පිටතදීය. මේ අතර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පක්ෂයේ උප නායක ධුර භාරගන්නා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් ගෙන ආවේය. එහෙත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එම යෝජනාවට එකඟත්වය පළ නොකළේය. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පවසා තිබුණේ එජාප ප්‍රතිසංවිධාන කටයුතුවල අවසන් වාර්තාව සකස් කළ පසු එජාප උප නායක තනතුර පිළිබඳව සලකා බැලිය හැකි බවය. එහෙත් එම යෝජනාව ද ටික කලකින් යටපත් වී ගියේය. මේ අතර එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, සභාපති ජයවික්‍රම පෙරේරා හා එවක මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග සෘජුවම සාකච්ඡා කොට ප්‍රශ්නයට පිළියමක් ලබාගැනීම සඳහා සූදානම් විය. ඒ අනුව ගෝල්ෆේස් හෝටල් සංකීර්ණයේදී පැවති පක්ෂ සමුළුවකින් පසු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග එම පිරිස සාකච්ඡා කළේය. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අඩාළ වී පක්ෂයේ ඇතිවීමට තිබූ පිල් බෙදීමක් නොවන තැනට කටයුතු කිරීමටය. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළ එම පිරිස ඔහුට පැවසුවේ පක්ෂයේ ලොකු වගකීමක් භාරගෙන පක්ෂය මෙහෙයවීමට කටයුතු කරන ලෙසය. එසේ කිරීමෙන් එජාපය දෙකට තුනට කැඩී යාම වළකින බවද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට අවධාරණය කළ ඔවුන් පක්ෂයේ කල්ලි බිහිවීමෙන් වාසිය අත්වන්නේ ආණ්ඩුවට බවද පෙන්වා දුන්නේය. එජාප නියෝජ්‍ය නායක, සභාපතිවරයා සහ මහ ලේකම්වරයා පළ කළ අදහස් සාවදානව අසා සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කිසිදු අකමැත්තක්ද පළ නොකළේය. අනතුරුව ඔවුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව සියලු තොරතුරු දැනුම් දුන්නේය. සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඔවුන් හා පවසා තිබුණේ තමන්ට පක්ෂය තුළ යම් වගකීමක් ලබාදෙන්නේ නම් එය එජාප නායක රනිල් වික්‍රමසිංහට පමණක් දෙවැනි වන තනතුරක් විය යුතු බවය. එම අවස්ථාවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායකවරයා ඇතුළු පිරිසට පවසා තිබුණේ, ‘‘එහෙමනං මට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු දෙකක් හදන්න වෙයි’‘ කියාය. මුලින්ම ඒ අදහස පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමෙන් පසු අවසන් අනුමැතිය සඳහා පක්ෂ මහ සමුළුවකටද ඉදිරිපත් කළ යුතු බවද එජාප නායකයා ඔවුන් වෙත දැනුම් දුන්නේය. එහෙත් නියෝජ්‍ය නායක තනතුරු දෙකක් බිහි කිරීම සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගේ අමනාපයක් එහිදී පළවී තිබුණේය. නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කිරීමෙන් පසු එජාපය තුළ අතුරු ප්‍රශ්න පැන නැගිය හැකි බව හැඟී ගිය එජාප මහ ලේකම් තිස්ස අත්තනායක එජාප නායක රනිල් වික්‍රමසිංහගේද අනුමැතිය ඇතිව පසුදින යළිත් වරක් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා හමුවූයේය. තිස්ස අත්තනායක මහතාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගෙන් පළවුණේ යහපත් ප්‍රතිචාරයකි. ‘‘තිස්ස, දැන්ම මට හදිසියක් නෑ නායකයෙක් වෙන්න. මම දන්නවා මේක මුළු පක්ෂයටම අමාරු වෙලාවක් කියලා. ඒ නිසා රනිල් මහත්තයා පක්ෂ නායකත්වයේ ඉන්න ගමන් මටත් යම් වගකීම් සහිතව රට පුරා වැඩ කරන්න ඉඩක් ලැබෙනවා නං ඒ ගැන මගේ කිසිම අකමැත්තක් නෑ’’ යි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එජාප මහ ලේකම් තිස්ස අත්තනායකට පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එසේ පිළිතුරු ලබාදෙන අතර තමන් සමග සිටින සෙසු මන්ත්‍රීවරුන් වූ දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ. දිලිප් වෙදආරච්චි වැනි මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් සඳහන් කරමින් ඔවුන් සමග ද මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව අවධාරණය කර තිබුණේය. පසුව යළිත් වරක් එජාප නායකයා හමුවූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, රනිල්-සජිත් හමුවක් සූදානම් කළේය. ඒ සඳහා තිස්ස අත්තනායක මහතාගේ වාහනයෙන්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිට එජාප මූලස්ථානය වූ සිරිකොතට ගොස් තිබිණි. එම සාකච්ඡාව සඳහා එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, රවි කරුණානායක හා තිස්ස අත්තනායක මන්ත්‍රීවරුන් ද සූදානමින් සිටියත් එම සාකච්ඡාව තමන් හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර පමණක් සිදුවිය යුතු යැයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා ප්‍රකාශ කිරීම නිසා ඔවුන් දෙදෙනා පමණක් සිටියදී සෙසු පිරිස සාකච්ඡා කාමරයෙන් පිටවී ගොස් තිබුණේය. එහෙත් සුළු වේලාවකින් අනතුරුව එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සාකච්ඡා කාමරයට කැඳවූ අතර ඔවුන් එහි යන විට එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සීමිත කාලයක් තුළ සමගියෙන් කටයුතු කිරීම සඳහා එකඟතාවකට පැමිණ සිටියේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහ ලේකම්වරයාට පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පැවරිය යුතු පක්ෂයේ වගකීම් ලැයිස්තුවක් සකස් කරන ලෙසය. කෙසේ වෙතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතර ඇතිවී තිබූ සාකච්ඡාව ඉතාමත් සුබවාදී ලෙස හා සුහදතාවකින් යුතුව අවසන් වී තිබුණේය. සාකච්ඡාව නිම වී එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කාමරයෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පිටවී ගිය පසු රවි කරුණානායක මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කාමරයට ඇතුළු වී රනිල් හා සජිත් අතර තිබූ සාකච්ඡාවට පැයකට ආසන්න කාලයක් ගැනීම පිළිබඳව දොස් නගා තිබුණේය. එජාප නායක රනිල්-රවි කරුණානායකට සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් දිගු වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු කරුණු අවබෝධ කරගෙන පිටව ගියද රවි කරුණානායක මන්ත්‍රීවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිටව ගොස් තිබුණේ හිත් හොඳින් නොවන බව පැහැදිලි වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මේ ලියුම්කරුට ප්‍රකාශ කළේය. අනතුරුව එම සතියේ ඉරිදා දිනයක එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරියගේ තිඹිරිගස්යායේ අමරසේකර මාවතේ පිහිටි නිවසේදී තවත් සාකච්ඡාවක් තිස්ස අත්තනායක මහතා විසින් සංවිධානය කළේය. එම සාකච්ඡාව සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ සාමාජිකයන්ටත් ආරාධනා කර තිබුණේය. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එම සාකච්ඡාවට පැමිණ සිටියේ ඔහුට සහාය දක්වන පිරිස වූ දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සමගිනි. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සාකච්ඡාවට සහභාගි වෙමින් කියා සිටියේ බහුතරයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු පළවීම සම්බන්ධයෙන් තමා විමතියට පත්වූ බවය. එම මාධ්‍යයන්හි පළවී ඇති පුවත් හා ඕපාදූප තීරුවලින් තමා තනතුර ඉල්ලාගෙන රනිල් වික්‍රමසිංහ පසුපස ගිය බව සඳහන් කිරීම නිසා තමා හෑල්ලුවට ලක්වී ඇති බවද එහිදී ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එවැනි තත්ත්වයක් යටතේ තමා ලබාදුන් සියලු එකඟතාවලින් ඉවත් වීමට සිද්ධ වෙන බව දැනුම් දුන්නේය. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එසේ කියද්දී ඔහු සහාය දුන් මන්ත්‍රීවරුන් කියා සිටියේ එජාපයේ වහා ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවය. ‘‘මම නං මේ ගැන කිසිම දෙයක් මොනම ජනමාධ්‍යයකටවත් කියලා නෑ. හැබැයි ඔය කට්ටිය කතා කරගෙන හැමෝම යම් එකඟතාවකට ආවොත් මට කියන්න’’ යැයි කී එජාප නායක රනිල් වික්‍රමසිංහ පිටව ගියේය. ඔහු එම සාකච්ඡාවලින් ඉවත්ව ගියේ මුලින් පැවති ස්ථාවරය ඒ වනවිට වෙනස් වී ඇති බව පෙනී ගිය බැවිනි. අවසානයේදී සිදුවූයේ රනිල්-සජිත් අතර පැවති සාකච්ඡා හා එජාප ප්‍රතිසංවිධානය පිළිබඳ පැවති සෑම සාකච්ඡාවක්ම කිසිදු තීරණයකින් තොරව අවසන් වීමය. රංජිත් ගුණවර්ධන
 

More News..