brand logo

ලෝක ළමා දිනය අදයි!

01 October 2020

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. “අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) දිනයේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිතය. ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවය. ලෝක ළමා දින ජනපති පණිවුඩය රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි. ඔවුන් දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම වන්නේය. දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි. රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්ණායක කොපමණ දුරට ළඟා කර ගත්ත ද එම සමාජය මානව දයාව යහ ගුණ පිරි මනුෂ්‍යයන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැ’යි මම විශ්වාස නොකරමි. එවන් රටක් ගොඩනැගීමට අපි සියලුදෙනා ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂාමය ඥානයෙන් ද දරු පරපුර සන්නද්ධ කළ යුතුය. භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම මගේ ඒකායන අපේක්ෂාවයි. එබඳු රටක දරුවන් සතුටින්, සැනසී‍මෙන්, සුවයෙන් වාසය කරනු නියතය. ඒ නියතය අත්දකින අත්විඳින පරපුරක් ගොඩනැගීමට ඔබේ දරුවාගේ ළමා කාලය ඔබ කල්පනාකාරීව මෙහෙයවනු ඇතැයි මම සිතමි. මෙවර ලෝක ළමා දින තේමාව වන ‘‘අපේ රට - අපේ දෑතින්’’ යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටය. ලෝක ළමා දින අගමැති පණිවුඩය දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම දායාදයයි. අපේ අනාගතය, අපේ ලෝකය ආදරණීය දරුවන් බව සිහිපත් කරමින් ලෝක ළමා දින ජාතික සැමරුමට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි. අද ඔබගේ තුරුලෙහි හිනැහෙන, අව්‍යාජත්වය කැටිකර ගත් මේ ආදරණී මුහුණු හෙට දවසේ අප රටේ අනාගතයයි. අනාගත ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන අපගේ ආදරණීය දුවා දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම අප සැමගේ වගකීමයි. නිදහස් නිවහල් රටක් තුළ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත හා පරිපූර්ණ ජීවිතයක් බවට පත් කිරීම සෑම දෙමාපියෙකුගේම ඒකායන අපේක්ෂාවයි. අපගේ අපේක්ෂාව වන්නේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලුවලින් පීඩා නොමැති පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට උරුමකර දීමයි. ආදරණීය දුවේ, පුතේ, ඔබ උපන් මේ යුගය ඉතාමත් අභියෝගමත් යුගයකි. ඒ අභියෝග මතින් ඔබට සුන්දර ළමාවියක් මෙන්ම සුන්දර රටක් නිර්මාණය කිරීමේ සෞභාග්‍යයේ දැක්මට අප මුලපුරා තිබේ. “අපේ රට-අපේ දෑතින්”තේමාවෙන් ඒ සුන්දර ළමා ලෝකය තැනෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.  
 

More News..