brand logo

ලෝක බැංකුවෙන් උතුරේ සෞඛ්‍ය වර්ධනයට දුන් මුදලින් පළාත් නිලධාරීහු රට සවාරියේ

17 November 2018

උතුරේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම පළාත් සභාවට ලෝක බැංකුව මගින් ලබාදුන් මුදල් නියමිත කටයුතුවලට වැයකිරීමට නොහැකි වූ තැන එම සභාව යටතේ ඇති සෞඛ්‍ය අංශවල සහ පළාත් සභා ඉහළ නිලධාරීන් 25 දෙනකු එකී මුදල් වැය කොට ඉන්දියාවේ සවාරියක් ගොස් ඇති බව වාර්තා වේ. උතුරේ රෝහල්වල ගොඩනැගිලි සංවර්ධනය හා ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් මුදල් ලබාදී ඇත. එහෙත් ඒ සඳහා වැඩපිළිවෙළක් නොමැතිවීමෙන් එම මුදල් ආපසු යෑම වළක්වා ගැනීම සඳහා මෙම සංචාරය යොදාගෙන ඇති බව එම සභාවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. ඉන්දියාවේ දිල්ලිහි පිහිටි අයි.අයි.එච්.එම්.ආර් විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා යාමට බව සඳහන් කරමින් පසුගිය 9 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔවුන් අවසර ඉල්ලා ඇත. පළමු කණ්ඩායමේ 13 දෙනකු 12 වැනි දින රටින් පිටව ගොස් ඇති අතර දෙවන කණ්ඩායමේ 12 දෙනකු හෙට දිනයේ (19දා) දිල්ලි බලා පිටත්ව යාමට නියමිතය. එහි පළමු කණ්ඩායමට සෞඛ්‍ය අංශයට සම්බන්ධ නොමැති උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (1) ඉංජිනේරු සේවා, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), ගණකාධිකාරී (පළාත් භාණ්ඩාගාර) යන නිලධාරීන් ද එක්ව ඇත. දෙවැනි කණ්ඩායමට සෞඛ්‍යයට සම්බන්ධ නොමැති උතුරු ආණ්ඩුකාර සහකාර ලේකම්ද තවත් සහකාර ලේකම් පිරිසක්ද, ප්‍රධාන ගණකාධිකාරී ආදී නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිති.
 

More News..