brand logo

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා ගැටුම අද සිට

18 June 2021

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද (18 වැනිදා) ප.ව. 3.00ට එංගලන්තයේ සදම්ප්ටන්හිදී ආරම්භ වීමට නියමිතය. 2019 අගෝස්තු 1 වැනිදා ආරම්භ වූ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ සහභාගි වූ තරග 17න් 12ක් ජයගෙන ප්‍රසාද ලකුණු 520ක් සමගින් ඉන්දියාව අදාළ අවසන් මහා තරග අවස්ථාව දිනාගත් අතර නවසීලන්තය සහභාගි වූ තරග 11න් 7ක් ජයගෙන ප්‍රසාද ලකුණු 420ක් සමගින් මෙම අවස්ථාව හිමිකර ගත්තේය. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 59කින් ඉන්දියාව තරග 21කුත්, නවසීලන්තය තරග 12කුත් වශයෙන් ජයගෙන තිබේ. කෙසේ නමුත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක ඉකුත් 2020 වසරේ පෙබරවාරි මාසයේ එකිනෙකා මුණගැසී තිබෙන අතර අදාළ තරගාවලිය 2-0කින් ජය වාර්තා කිරීමට සත්කාරකත්වය දැරූ නවසීලන්තයට හැකි වුණි. ඉන්දීය කණ්ඩායම විරාට් කොලිත්, නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසිනුත් මෙහෙයවනු ඇත. ඔවුන් දෙදෙනා 2008 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයේදී ද අදාළ කණ්ඩායම් දෙක මෙහෙයවා තිබීම කැපී පෙනෙන කාරණයක් විය. එම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ රවීන්ද්‍ර ජඩේජා වර්තමාන ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර එම තරගාවලිය ක්‍රීඩා කළ ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් මෙම අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරනු ඇත. මෙම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තරග 17කදී ලකුණු 1095ක් රැස්කරගෙන සිටින ඉන්දීය පිලේ උප නායක අජින්ක්‍යා රහානේ පස්වැනි ස්ථානයේ රැඳී සිටී. එම පන්දු යවන්නන් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය තරග 13කදී කඩුලු 67 දවාගෙන සිටින ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් රැඳී සිටින අතර තරග 10කදී කඩුලු 51ක් දවාගෙන සිටින නවසීලන්තයේ ටිම් සවුතිට එහි පස්වැනි ස්ථානය හිමිව තිබේ. අවසන් මහා තරගයට පෙර එංගලන්තයේදී සාර්ථක පෙර පුහුණුවක් ලබාගත් නවසීලන්තය, එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය 1-0කින් ජය ගෙන තිබීම අද තරගයේදී ඔවුන්ට අමතර වාසියක් වනු ඇත. ඉන්දියාව සහ නවසීලන්තය යනුවෙන් සඳහන් කරමින් මෙම අවසන් මහා තරගය වෙනුවෙන්ම රතු පන්දුවක් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙම තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වුවහොත් සමශූරයන් වශයෙන් කණ්ඩායම් දෙකම නම් කෙරෙනු ඇත. අද තරගය ජය ගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට හිමිකම් කියන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 316) මුදලක් පිරිණැමීමට තීරණය කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශූරතාව සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 158ක් හිමිවනු ඇත.

ඉන්දීය සංචිතය

විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහානේ (උප නායක), රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, චේතේෂ්වර් පුජාරා, හනුමා විහාරි, රිශාබ් පන්ට්, රිද්දිමාන් සාහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, ඉශාන් ශර්මා, මොහොමඩ් ශාමි, උමේෂ් යාදෙව්, මොහොමඩ් සිරාජ්.

නවසීලන්ත සංචිතය

කේන් විලියම්සන්, ටොම් බන්ඩෙල්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ටොම් ලෙදම්, අජාස් පටෙල්, රෝස් ටේලර්, බී.ජේ. වොට්ලින්, ටේ‍රන්ට් බෝල්ට්, කොලින් ඩී ග්‍රැන්ඩොම්, කයිල් ජේමිසන්, හෙන්රි නිකොල්ස්, ටිම් සවුති, නීල් වැග්නර්, විල් යන්ග්. ගයාශාන් විතානආරච්චි
 

More News..