brand logo

ලෝක කුසලාන අවසන් තරගය ට අතිරේක දිනයක්

13 November 2022

අවසන් මහා තරගය අද

මෙවර පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර අද (13) මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතය. කෙසේවෙතත් අද දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ප්‍රතිශතයක පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වේ. අවසන් මහා තරගයට අද දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් හෙට දිනය අතිරේක දිනයක් ලෙස නම් කර ඇති අතර එදින ද වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ප්‍රතිශතයක පවතින බව සඳහන් වේ. වර්ෂාව හේතුවෙන් සාමාන්‍යයෙන් තරගයක් සඳහා ලබාදෙන අමතර පැය දෙකක කාලය මෙම තරගය සඳහා පැය 4 දක්වා වැඩි කිරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. අවසන් මහා තරගයේදී අවම වශයෙන් කණ්ඩායම් දෙකම පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කළ යුතු අතර අද දිනයේදී වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතරමග නතර කළහොත් එතැන් සිට හෙට දිනයේ තරගය ආරම්භ කිරීමේ හැකියාව පවතී. අතිරේක දිනයේද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එංගලන්තය සහ පාකිස්තානය ලෝක කුසලානයේ සම ශූරයින් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ. පාකිස්ථානය සහ එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් වරට හමුවී ඇත්තේ මීට වසර 30කට පෙර වන අතර 1992 වසරේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දීම පැවති එම තරගය පාකිස්තාන කණ්ඩායම ජය ගෙන ඇත. කෙසේවෙතත් කණ්ඩායම් දෙක 20යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ දී හමුවන පළමු අවස්ථාව මෙයයි.
 

More News..