brand logo

ලෝක කුසලානයත් ඉන්දියාවෙන් පිටමං වන ලකුණු

06 May 2021

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වයිරස තත්ත්වය ඉදිරියේදී යම් පහවයාමකට ලක් නොවුණහොත් ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවදානමක් මතුව තිබේ. අදාළ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳව මේ වන විට නිශ්චිත තීරණයකට එළැඹ නැතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. යම් හෙයකින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත කාලයේදී ඉන්දියාවේ පැවැත්වීමට නොහැකි වුවහොත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි පැවැත්වීම කෙරෙහි ද මේ වන විට අවධානය යොමුව තිබේ. මීට පෙර අදාළ තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් කාලයේ පැවැත්වීමට යෙදී තිබුණත් උද්ගත වයිරස තත්ත්වය හමුවේ එය කල් තැබීමට සිදු විය. ඒ හේතුවෙන් අදාළ තරගාවලිය මේ වසරේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට යෙදුණි. සත්කාරක ඉන්දියාව සමගින් 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට විස්සයි විස්ස ශ්‍රේණියේ ඉහළින්ම සිටි කණ්ඩායම් 10 අදාළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක එල්ලයේ සුදුසුකම් ලැබුවේය. ඒ වන විට එම ලැයිස්තුවේ පහළ ස්ථානයක සිටි ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එක එල්ලයේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියට එක් වීමට නොහැකි විය. ඒ හේතුවෙන් අදාළ සුපිරි 12 වටයට පිවිසීමටනම් ඔවුන් ද ඇතුළුව කණ්ඩායම් 6ක් අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට සිදුවනු ඇත. ගයාශාන් විතානආරච්චි
 

More News..