brand logo

ලෝක කුසලානයට යන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අද තරගයට

14 September 2021

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද (14 වැනිදා) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පැවැති තරග දෙකම ජය ගනිමින් මේ වන විටත් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම 2-0කින් තරගාවලි ජය තහවුරුකරගෙන තිබෙන බැවින් 3-0ක පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග 19කින් ජයගෙන ඇත්තේ තරග තුනක් පමණක් වන අතර එයින් තරග දෙකක් දසුන් ශානකගේ නායකත්වය යටතේ ජයගත් ඒවාය. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි.

පැවැති තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නීරස පිති ප්‍රහාරය පරාජයට බල පෑ ප්‍රධානතම සාධකය බව පෙනෙන්නට තිබිණි. දෙවැනි තරගය පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා කියා සිටියේද, තරගය පිළිබඳව පිතිකරුවන් තවදුරටත් අවධානය යොමුකළ යුතු බවයි. දෙරට අතර පැවැති පළමු සහ දෙවැනි තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නිලකුණු පන්දු වැඩි වශයෙන් වාර්තා කිරීමද, තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමේදී ශ්‍රී ලංකාවට බාධාවක් විය. අදාළ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නිලකුණු පන්දු 49ක් සහ දෙවැනි තරගයේදී නිලකුණු පන්දු 51ක් වශයෙන් සටහන් වී තිබීම කැපී පෙනෙන කාරණයක් විය.

පළමු තරග දෙකෙහිදී අවස්ථාවක් නොලද සහ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අද තරගයේදී කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද තරගයේදී විවේක ගැන්වෙනු ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ. ශ්‍රී ලංකා සංචිතය දසුන් ශානක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, පැතුම් නිශ්ශංඛ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ළහිරු මධුශංඛ, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, මිනෝද් භානුක, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප්, ප්‍රවීන් ජයවික්‍රම, කුසල් පෙරේරා දකුණු අප්‍රිකා සංචිතය කෙෂව් මහරාජ් (නායක), එයිඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, රසී වෑන්ඩර් ඩූසන්, රීසා හෙන්රික්ස්, ඩ්වේන් ප්‍රිටෝරියස්, ජෝර්ඩ් ලින්ඩේ, විආන් මුල්ඩර්, හෙන්රික් ක්ලාසෙන්, ක්වින්ටන් ඩි කොක්, එන්රික් නෝර්කියා, බියුරන් හෙන්රික්ස්, ජෝන් ෆෝර්චුන්, කාගිසෝ රබාඩා, ලිසාඩ් විලියම්ස්, ලුන්ගි නිගිඩි, සිසඳ මගාලා, තබ්‍රේස් ශම්සි
 

More News..