brand logo

ලෝක කුසලානයට යන්න තවත් ක්‍රීඩකයෙකුට අවස්ථාව

17 September 2021

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය අලුත්වෙයි

අබාධයකට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක වෙනුවට විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් වන ක්‍රීඩකයා කවුරුන්ද යන වග අද (17 වැනිදා) තීරණය වීමට නියමිත බැව් ‘අරුණ’ට වාර්තා වේ.

ළහිරු මධුශංඛගේ ස්ථානය සඳහා අතිරේක ක්‍රීඩකයන් වන ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය හෝ පුලින තරංග අතරින් අයෙක් 15 දෙනාගේ සංචිතය සඳහා නම් කිරීමට බොහෝ සෙයින් ඉඩක් පවතින බවට වැඩිදුරටත් වාර්තා විය.

ආරම්භක පිතිකරු, කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාද, සියයට සියයක් ශාරීරික යෝග්‍යතාවයෙන් නොමැති වීම හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිනෝද භානුකටද ඒ අනුව අතිරේක ක්‍රීඩකයෙක්ගේ හිඩැස පිරවීමේ අවස්ථාව ඇති බව පැවසේ. ලෝක කුසලාන තරගාවලිය වන විට යම් හෙයකින් කුසල් පෙරේරාගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමේ නොපැවතියහොත් කණ්ඩායමේ සිටින එකම කඩුලු රකින ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් වේ. ඒ අනුව මිනෝද් භානුක අතිරේක ක්‍රීඩකයකු වශයෙන් සංචිතයට එක්වීමේ වැඩි ඉඩක් පවතී. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති තුන්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අතරතුර පන්දු රැකීමේදී තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංඛ ආබාධයකට ලක් විය. උරහිස ආශ්‍රිතව ඇති වූ ආබාධ තත්ත්වය හමුවේ අවම වශයෙන් සති 6ක කාලයක් ළහිරු මධුශංක විවේක ගත යුතුව තිබෙන බව සඳහන් වේ. ශ්‍රී ලංකා සංචිත දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ, අතිරේක - ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග
 

More News..