brand logo

ලෝක කුසලානට ආවේ ඔරිජනල් සුද්දොද?

14 July 2019

ක්‍රිකට් යනු සුද්දා ගේ සුජාත පුත්‍රයෙකි. ඔරිජිනල් සුද්දා සිටින්නේ එංගලන්තයේය. නමුත් එංගලන්තයේ සුද්දාට තවම ක්‍රිකට් ලෝක කුසලානක් දිනාගත නොහැකි විය. ඉතිහාසය එසේ වුවත් අද තීරණාත්මකය. ඒ ඉතිහාසය අද වෙනස් වීමට බොහෝ ඉඩ ඇත. යම් හෙයකින් අද එංගලන්තය විසින් ලෝක කුසලාන ජයගත්තද, එය ඔරිජිනල් සුද්දාගේ ජයක් ලෙසින් හැදින්විය හැකිද? විචාරකයන්ගේ පූර්ව මතයන්ට අනුව අවසන් මහා තරගයේ එංගලන්තයේ ප්‍රතිවාදීන් වේ යැයි කියූ ඉන්දීය පිලට අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විය. ඉන්දියාව අවසන් මහා තරගයේ වරම් දිනා ගනිතැයි ඉන්දීය ප්‍රේක්ෂකයෝ කෙතරම් නම් විස්වාස තබා තිබුණා දැයි කිවහොත් අද පැවැත්වෙන අවසන් මහා තරගයේ මුළු ප්‍රවේශපත් සංඛ්‍යාවෙන් සියයට හතළිහක්ම මිලදී ගෙන තිබුණේ ඔවුන් විසිනි. සටහන ලියන මොහොත වන විටත් විචාරකයන් වැඩි හරියකගේ මතය වූයේ පෙර කී සේම එංගලන්ත කණ්ඩායම සත්කාරකත්වයේ වාසිය සමගින් ලෝක කුසලාන දිනා ගන්නා බවකි. එංගලන්ත පිලේ ලෝක කුසලාන වෙනුවෙන් කල් තියා නම් කළ සංචිතය තරගාවලිය ආසන්න වෙනවාත් සමගම යම් යම් කප්පාදුවලට ලක් වූයේය. ඇලෙක්ස් හේල්ස් තහනම් උත්තේජක සිද්ධියක් නිසා සංචිතයෙන් විසි වූයේය. සෑම් කරන්ද කණ්ඩායමට ඇතුළත් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී සංචිතයෙන් පිටමන් කළේය. ඉන් පසුව එංගලන්තයේ ක්‍රිකට් කප්පිත්තෝ සටන් වැදුණේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් සම්භවයක් ඇති කළු කොල්ලෙක් කණ්ඩායමට ඇතුළත්කර ගැනීමටය. කල් තියාම මේ කොල්ලා ගැන ඉව වැටී තිබුණු එංගලන්ත බලධාරීන් 2018 අග භාගයේදී ඔහුට එදිරිව නැගී සිටි එංගලන්ත ක්‍රිකට්හි සාම්ප්‍රදායික නීති රාමුව පවා වෙනස් කිරීමට කටයුතු යොදා තිබිණි. සියලු කටයුතු සූදානම් වී තිබුණත් මේ කළු කොල්ලා කණ්ඩායමට එක්කර ගැනීම කෙරෙහි ඇතැම් පාර්ශ්වයන්ගේ වූයේ කුකුසකි. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල් පිලේ හරි හරියට දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත පිලට මොහුගේ සහභාගීත්වය ස්ථිර වූයේය. ඒ අනුව විදෙස් රටක උපත ලබා එංගලන්ත ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර වසර 7 ක් එරටේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කර තිබිය යුතු වීමේ නීතිය එහිදී කැඩිණි. අවුරුදු 7 ක් වූ එම නීතිය අවුරුදු 3 ක් දක්වා ලඝු වූයේ ඔහුව කණ්ඩායමට එක්කර ගැනීම වෙනුවෙන්ම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ කළු කොල්ලා වෙන කවුරුත් නොවෙයි එංගලන්ත පිලේ එක් අන්තයකින් හීසැරයක් වන් වේග පන්දු යවන 24 හැවිරිදි ජොෆ්රා ආචර්ය. ආචර් මුල් වරට ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 19 න් පහළ කොදෙව් පිලේය. එවකට කොදෙව් යොවුන් කණ්ඩායම වෙනුවෙන් තුන්වතාවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ඔහුට ලැබී තිබිණි. නමුත් හදිසියේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් කාලයක් කොදෙව් ජාතික කණ්ඩායම හා ගනුදෙනු කිරීමට ඔහුට නොහැකි විය. සිය පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ බැවින් එංගලන්තයට පැමිණීමට සිදුවන්නේ ඒ අයුරෙනි. එංගලන්ත නායක ඔයින් මෝගන් 2006 පටන් අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 23 කට ක්‍රීඩා කළ අයෙකි. අයර්ලන්ත ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර ඔහු අයර්ලන්ත ‘ඒ’ සහ අයර්ලන්ත වයස අවුරුදු 19 න් පහළ යන කණ්ඩායම්වල පවා ක්‍රීඩා කර ති‌බේ. අයර්ලන්ත කණ්ඩායම අතහැර ඊට වඩා පැහැබර ක්‍රිකට් අනාගතයක් පිළිබඳ හීන දුටු ඔහුගේ එංගලන්ත ආගමනය සිදුවන්නේ එලෙසිනි. ඒ අනුව එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලීන් හි ක්‍රීඩා කළ හේ 2010 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගත්තේය. 32 හැවිරිදි මෝගන් මේ වන විට එංගලන්ත පිලේ නායකයාය. ඔහු අද ලෝක කුසලාන දිනා ගනිමින් එංගලන්තයේ අසහාය ක්‍රිකට් නායකයා වීමට සූදානමින් පසුවෙයි. එංගලන්තය අවසන් මහා තරගය කරා රැගෙන ඒමේදී කණ්ඩායමේ වැඩි බරක් ඇද්ද ක්‍රීඩකයෙක් වූයේ බෙන් ස්ටෝක්ස්ය. ඔහු පන්දුවෙන් පිත්තෙන් වගේම පන්දු රැකීම කියන ඉරියව් තුනෙන්ම ලෝකයේ සිටින සුපිරි පැලැන්තියේ ක්‍රීඩකයෙකි. අද එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන ස්ටෝක්ස් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී උපත ලැබූවෙකි. වයස අවුරුදු 12 ක් වන විට සිය පවුල සමගින් උතුරු එංගලන්තයට පැමිණෙන ඔහු වයස අවුරුදු 19 න් පහල එංගලන්ත ජාතික පිලේද ප්‍රබල ක්‍රීඩකයෙකි. ආරම්භක පිතිකරු ජේසන් රෝයි සහ වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් යන දෙදෙනාම දකුණු අප්‍රිකාවේ උපත ලැබුවෝය. එංගලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමේදී අවස්ථා ගණනාවකදී මූලික අඩිතාලම දමන රෝයි වයස අවුරුදු 10 දී එංගලන්තයේ පදිංචියට ආවෙකි. ටොම් කරන්ගේ පියා සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ කෙවින් කරන්ය. සිය පියා සිම්බාබ්වේ සම්භවයක් ඇති අයෙකු වීමෙන් සෑම්ට සිම්බාබ්වේද කාලයක් ගත කිරීමට සිදු වූයේය. නමුත් ඉන් අනතුරුව එංගලන්තයට පැමිණෙන කරන්, සරේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එංගලන්ත ජාතික පිලේ අවස්ථාව උදාකර ගත්තේය. බෙන් කරන් සහ සෑම් කරන් යනු ටොම්ගේ සහෝදරයින් වන අතර ඔවුන් දෙදෙනාම එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෝය. සෑම් කරන් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර ඔහු එංගලන්තයේ උපත ලැබූවෙකි. ගයාශාන් විතානආරච්චි
 

More News..