brand logo

ලෝකෙ ලස්සනම බිරියගේ සැමියා කියන කතාව

14 December 2019

ලෝකෙ ලස්සනම බිරියගේ සැමියා විදිහට ඔබට දැනෙන දේ මුලින්ම දැනගන්න කැමැතියි? මෙහෙමයි. ඇය ඉතින් මට මගේ පරණ බිරියම තමයි. ඇය ලබපු ජයග්‍රහණය ඇතුළේ ලස්සන කියන දේ තියෙනවා. හැබැයි ලස්සනට වඩා ඇය තමයි ලෝකයේ ඉන්න ආදර්ශවත්ම මව, ආදර්ශවත්ම බිරිය. ඉතින් ඇගේ සැමියා හැටියට මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔබට කැරොලයින්ව මුලින්ම හමුවුණු මොහොත මතකද? ඔව්. ඩුබායිවලදි මුලින්ම දැක්කේ. මුලින්ම දැකපු වෙලාවෙ හිතුණේ මෙයා ලංකාවේ කෙනෙක්ද කියලා. කොහොම වුණත් දැකපු ගමන් හිත ගියා. කතා කරන්න කීප දවසක්ම උත්සාහ කළා. උත්සාහය හරිගිහින් දවසක කතාවට අල්ලා ගත්තා. ඇය හිතලා තියෙන්නෙත් මම ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි කියලා. අපේ ඒ මුල්ම හමුවීම වුණේ දෙදහස් දහසය අවුරුද්දේ මුල හරියේ. කවුද ඉස්සෙල්ලාම ආදරෙයි කිව්වේ? මම තමයි මුලින්ම කැමැත්ත ප්‍රකාශ කළේ. ‘මම ඔයාට කැමැතියි. ඔයා මොකද කියන්නේ?’ කියල මම ඇහුවා. එතකොට කැරොලයින් කිව්වා මමත් ඔයාට කැමැතියි කියල. හැබැයි මට ටික දවසක් දෙන්න, හරි වචනයක් දෙන්න කියලත් ඇය ඉල්ලා හිටියා. දවස් කීයකට පස්සෙද කැමැත්ත ලැබුණේ? අපි ටික කාලයක් ආශ්‍රය කළා. ඒ කාලෙදි මම ඇයව අඳුනා ගත්තා. ඇයත් මාව අඳුනා ගත්තා. ඊට පස්සෙ තමයි අපේ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තේ. දෙපැත්තෙ මව්පියන් කොයි කාලෙද ඒක දැනගත්තේ? දෙදහස් දහ හතේ මුලදි අපේ මව්පියන්ට අපි අපේ සම්බන්ධය ගැන කිව්වා. හැබැයි ඊට කලින් ඉඳලම අපේ ගෙවල්වලින් අපි ගැන දැනගෙන හිටියා. දෙපැත්තේම ආශිර්වාදය අපට ලැබුණා. එතකොට විවාහ වුණේ? දෙදහස් දහ හතේ මැයි මාසේ. ඩුබායිවලදි? නැහැ. ලංකාවෙදි. ඩුබායිවලදි මුණ ගැහුණත් ඔබ දෙදෙනා එකම ගම් ප්‍රදේශයේ? ගිහින් තියෙන්නෙත් සහෝදර පාසල් දෙකකට? ඔව්. මම කඳාන සෙබස්තියන් බාලක පාසලේ. ඇය කඳාන සෙබස්තියන් බාලිකා පාසලේ. ඒ කාලෙදි කවදාවත් අපිට අපි මුණගැහිලා තිබුණෙ නැහැ. මුලින්ම හමුවුණේ ඩුබායිවලදි. ඒ ගැන පස්සෙ කාලෙක මොනවද දෙන්නා කතා වුණේ? දෙන්නම ලංකාවෙ ජීවත් වෙලත් සහෝදර පාසල් දෙකකට ගිහිල්ලත් හමුවෙන්න ඩුබායිවලටම එන්න වුණානෙ කියල තමයි. විවාහයෙන් පස්සෙ ආපහු ඩුබායි ගියාද? නැත්නම් ලංකාවෙද හිටියේ? අපි ආපහු ඩුබායි ගියා. මොකද අපි දෙන්නම රැකියා කරන්නෙ එහෙ. මොනවද ඔබලා එහි කරන්නේ? අපි දෙන්නම පෞද්ගලික ආයතනවල වැඩ කරන්නේ. මම අලෙවි කළමනාකරුවෙක්. ඇය ප්‍රවර්ධන නිලධාරිනියක්. දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තාම ඔබත්, කැරොලයිනුත් කැමැත්තෙන් හිටියෙ දුවෙක්ටද? පුතෙක්ටද? මම කැමති වුණේ පුතෙක්ට. කැරොලයින් කැමැති වුණෙත් පුතෙක්ට. හැබැයි කුසට මාස කීපයක් යනකොට එයාගෙ කැමැත්ත දුවෙක්ට වුණා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කැමැති පුතෙක්ට. ඒත් කැරොලයින්ගේ කැමැත්ත වෙනස් වුණා. ඒ මොකද? මමත් ඇගෙන් ඇහුවා ඒ ඇයි කියලා. එත​කොට ඇය කිව්වා මට වඩා දුව ඔයාට ආදරේ වෙන්න ඕන කියලා. දුව තාත්තට ගොඩක් ආදරේ වෙනවා දකින එක තමයි මගෙ සතුට කිව්වා. කැරොලයින් නිතරම කියනවා දවසක එයාට වඩා දුව මට ආදරේ කරයි කියලා. ඒක එයාට ප්‍රශ්නයක් නෙවෙයි කියනවා. ඒක තමයි වෙන්න ඕන කියලත් කියනවා. ඔබ බලාපොරොත්තුවෙන් හිටියෙ පුතෙක්ට. දුවෙක් ලැබුණහම මොකද හිතුණේ? අපි කලින්ම දැනගත්තා ඉපදෙන්නෙ දුවෙක් කියලා. පුතෙක් ගැන තිබුණ දේ ආසාවක්. දුව අපට දුන්නෙ දෙවියෝ. එයා දෙවියන්ගෙ තෑග්ගක්. ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්න ඕන කියලා කැරොලයින් ඔබට කිව්වෙ කොහොමද? ඒකට අවසර ඉල්ලුවද? මෙහෙමයි. මගේ බිරිය ඔය ගැන වැඩිපුර කතා කරලා තිබුණේ මගේ අම්මත් එක්ක. අපි එතකොට ඩුබායි හිටියේ. ඊට පස්සෙ දෙන්නම මාත් එක්ක ඔය ගැන කිව්වා. අපේ අම්මා කිව්වා දුවට සුදුසුකම් ඔක්කොම තියෙනවා, අපි එයාව යවමු කියලා. දුව මේකට හරිම ආසාවෙන් ඉන්නෙ කියලත් අම්මා කිව්වා. මම එතකොට කිව්වා මගේ ප්‍රශ්නයක් නැහැ අම්මා, අපි එයාව ලංකාවට යවමු කියලා. අපි ඒ කතාබහ කරන තැන කැරොලයිනුත් හිටියා. කැරොලයින් ලංකාවට ඇවිත් රූ රැජින තරගයට සූදානම් වුණේ කොහොමද? ඔබ කොහොමද ඇයට උදව් කළේ? තරගයට දවස් හතරකට විතර කලින් තමයි මට ලංකාවට එන්න පුළුවන් වුණේ. මොකද මට නිවාඩු ගන්න විදිහක් තිබුණෙ නැහැ. අම්මයි, තාත්තයි වගේ ළඟ ඉඳගෙන කැරොලයින්ට උදව් කළේ තිළිණියි, නෙවිලුයි. නිමේෂ් මල්ලිත් ගොඩක් උදව් කළා. දුවට තාම අවුරුදු දෙකයි. කොහොමද ඇය බලාගත්තේ? ඔබත් එක්ක ඩුබායිවලද දුව හිටියේ? ටික කාලයක් දුව ඩුබායි හිටියා. ඊට පස්සෙ මගේ අම්මත් එක්ක ලංකාවට ආවා. කැරොලයින් ලංකාවේ විවාහක රූ රැජින වුණු දවසේ ඔබට මොනවද හිතුණේ? මේ තරගයට ඉදිරිපත් වෙන්න ඇයට තිබුණු ආසාව විතරයි අපි දැකලා තිබුණේ. ඇගේ දක්ෂතා අපි දැකලා තිබුණේ නැහැ. මීට කලින් මේ වගේ කිසිම තරගයකට මගේ බිරිය ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. හැබැයි ඩුබායිවලින් එන්න කලින් කැරොලයින් මට කිව්වා මේක ජයග්‍රහණය කළොත් මට රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇගේ ජයග්‍රහණයෙන් පස්සෙ මට ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් දැනුණා. අනෙක් කාරණය තමයි පහුගිය අවුරුදු තිස් පහක කාලෙදි ලෝක රූ රැජින තරගයට ලංකාවෙන් ඉදිරිපත් වුණු කිසිම කෙනෙක් අවසන් පහළොස් දෙනා අතරට පැමිණ තිබුණේ නැහැ. අපේ අදහස වුණේ අවසන් පහළොස් දෙනා අතරට හරි එන එක. ලෝක රූ රැජින තරගයට යන්න සූදානම් වුණේ කොහොමද? ඒකෙදි මූණ දීපු අභියෝග මොනවාද? ඇගේ උදව්වට කවුරුහරි ඇය ළඟින් සිටිය යුතුයි. ඒ නිසා මුලින්ම අපි දෙන්නටම වීසා දැම්මා. ඒත් දෙන්නගෙම වීසා ප්‍රතික්ෂේප වුණා. දෙවැනි පාර කැරොලයින්ට විතරක් වීසා දැම්මා. ඒකත් ප්‍රතික්ෂේප වුණා. තුන්වැනි පාරත් වීසා දැම්මා. ඒ පාර වීසා ලැබුණා. හැබැයි එදා රෑම ගුවන්ගත වෙන්න ඕන. පාන්දර හයට පටන් අරන් පහුවදා අලුයම තුන වෙනකම් එක දිගට වැඩ කරලා ඇයව ඇමෙරිකා යැව්වේ. ලෝක රූ රැජින තරගය යන අතරතුරදී මොනවද ඇය ඔබට කිව්වේ? කැරොලයින් ලංකාවෙන් කියලා කිව්වහම සමහරු ඇහුවලු ලංකාව තියෙන්නෙ කොහෙද කියලා. එතකොට ඇය උත්තර දුන්නලු ඉන්දියාවට එහා පැත්තෙ තියෙන රට කියලා. ලංකාව කියලා රටක් තියෙනවා කියල තරගෙට ඉදිරිපත් වෙන්න ආපු ගොඩ දෙනෙක් දැනගෙන තියෙන්නෙ කැරොලයින් එක්ක කතා කළාට පස්සේ. කැරොලයින් ලෝක විවාහක රූ රැජින තරගයෙන් ජයග්‍රහණය කළා කියන පණිවිඩය මුලින්ම ඔබට ලැබුණෙ කොහොමද? අපි එය සජීවීව නරඹමින් හිටියේ මගේ අයියලගේ ගෙදර. මේ තරගය සජීවීව බලන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියෙ නැහැ. මම හිතන්නෙ අපේ නෑයෝ සහ යාළුවො ඇතුළු සීමිත පිරිසක් තමයි එය සජීවීව නරඹන්න ඇත්තේ. කැරොලයින්ගෙ ජයග්‍රහණයෙන් පස්සෙ අපේ කලින් විවාහක රූ රැජින රෝසි සේනානායක කතා කළාද? ඇයට සුබ පැතුවාද? ඇය ඇමෙරිකා යන දවසට කලින් දවසේ රෝසි කතා කළා. ​ඔයාට මේක දිනන්න පුළුවන් කියලා සෑහෙන්න දිරිගැන්වීමක් කළා. දිනලා එන්න කියලා සුබ පැතුවා. මේ ජයග්‍රහණයත් එක්ක ඔබේ බිරියට ලෝකය පුරා සංචාරය කරන්න අවස්ථාව ලැබේවි. කොහොමද ඒවා සැලසුම් කරලා තියෙන්නේ? හැකි හැමවිටම මමත් ඇගේ සංචාරවලට සහභාගි වෙනවා. ඇගේ උදව්වට මම ළඟින් ඉන්න එක ඇයට ශක්තියක්. ඒ වගේම අපේ දුවවත් පුළුවන් හැම සංචාරයකටම එක්කර ගන්නවා. මොකද දුව ඉන්නේ අම්මයි, තාත්තයි එයාගෙ ළඟින්ම ඉන්න ඕන වයසේ. අපේ රටේ බොහෝවිට දකින්න ලැබෙන්නේ නැන්දම්මායි, ලේලියි අතරේ ගැටුම්. හැබැයි ඔබේ අම්මයි, බිරියයි හරිම යාළුයි. ඒ ගැන මොකද කියන්නේ? මම හරි වාසනාවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ. අන්තිමට දැනගන්න කැමැතියි ජයග්‍රහණයෙන් පසුව කැරොලයින් මුලින්ම කතා කරපු වෙලාවෙ මොනවද ඔබට කිව්වේ? මොකුත් කිව්වෙ නැහැ. අඬන එක විතරයි කළේ. හසිත කුරුප්පු
 

More News..