brand logo

ලෝකෙන් කාලකට ක්‍ෂයරෝගය

13 February 2021

මේ දිනවල කවුරුත් වැඩි වැඩියෙන් කතාබහ කරන්නේ කොරෝනා ගැනය. එහෙත් අතීතයේදී අපේ රටේ කොරෝනාවටත් වඩා මිනිස්සු බය වූයේ ක්‍ෂය රෝගයටයි. ක්‍ෂය රෝගය ගැන රට්ටුන්ගේ සිතේ කොයිතරම් භීතිකාවක් තිබුණේද යත්, ක්‍ෂය රෝගය වැලඳුණ අයෙකු සිටින නිවසකින් වතුර පොදක් හෝ බීමට කිසිවෙකු කැමැත්තක් දැක්වූයේ නැත. කාලයත් සමග ඒ ගැන කිසිවෙකුත් කතා නොකළද, දැන් දැන් කොරෝනා අස්සේම ඒ ගැන කතා කරන්නට සිදු වී ඇත්තේ යළිත් දිනෙන් දින අපේ රටේ ක්‍ෂය රෝගීන් ගණන සංඛ්‍යාත්මක ඉහළ යමින් තිබෙන නිසා ය. “මේ දවස්වල නම් කොරෝනාවට බය නිසා ගොඩක් දෙනා ප්‍රතිකාරවලට පැමිණෙනවා අඩුයි. නමුත් තවමත් අපේ රටේ වාර්ෂිකව ක්‍ෂය රෝගීන් අටදහසක් නවදහසක් අතර සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අපි හිතන විදිහට මේ සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාව වුණාට ඊට වැඩි සංඛ්‍යාවක් රෝගීන් සමාජය තුළ ඉන්නත් පුළුවන්.”යැයි ක්‍ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනෙහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය වන වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත කියන්නීය. වාර්ෂිකව රටේ ක්ෂය රෝගීන් නවදහසක් පමණ හඳුනා ගත්තද සමාජයේ රෝගීන් දස දහස ඉක්මවා සිටිය හැකි බවද වෛද්‍ය පල්ලෙවත්ත පවසයි. ඊට හේතුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ රෝගකාරක විෂබීජය ශරීරගත වූවන්ගෙන් සියයට දහයකට පමණ වීමයි. ක්‍ෂය රෝගය යනු වාතයෙන් බෝවෙන රෝගී තත්ත්වයකි. රෝගී පුද්ගලයෙකු කහින විට හෝ කිවිසන විට ඔහුගෙන් පිටවන සෙම බිඳිති ආශ්වාස කිරීම නිසා තවත් අයෙකුට මෙම රෝගය ආසාදනය විය හැකි ය. එහෙත් රෝගය ආසාදනය වන සියලු දෙනාට එය වැලඳෙන්නේ නැත. “රෝගකාරක බැක්ටීරියාව ශරීරයට ඇතුළු වූ පමණින් ඇතැම් අයට රෝග ලක්‍ෂණ පහළ වෙන්නෙ නැහැ. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ මට්ටම අනුවයි රෝගය බෝවීම සිදු වෙන්නෙ. හැබැයි සමහර අවස්ථාවලදී තරුණ කාලෙ මේ විෂබීජය ශරීරගත වෙලා තිබිලා ඒ පුද්ගලයා වයසට ගිහින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවුණාම මෙහි රෝග ලක්‍ෂණ මතු වෙන්න පුළුවන්. මෙහි තියෙන අවදානම් තත්ත්වය ඒකයි.” වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පෙන්වා දෙන පරිදි මෙම රෝගය ඕනෑම තරාතිරමක, ඕනෑම වයසක සිටින ගැහැනු පිරිමි භේදයකින් තොරව වැලඳිය හැකිය. එහෙත් රෝගය බෝවීමේ වැඩි අවදානමක් පවතින්නේ වයසින් වැඩි හෝ පිළිකා, දියවැඩියාව වැනි බෝ නොවෙන රෝගවලට ගොදුරු වූවන්ටයි. ඒ ඔවුන් තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු මට්ටමක පවතින නිසාය. එහෙත් අනෙක් පුද්ගලයන්ට ඒ රෝගය බෝ නොවන බවක් ඉන් කියැවෙන්නේ නැත. විශේෂයෙන්ම ළමයින්ට පවා මෙම රෝගය බෝවීමේ ඉහළ ඉඩකඩක් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරති. “වයස් භේදයකින් තොරව මේ රෝගය වැලඳීමේ ඉහළ ඉඩක් පවතිනවා. විශේෂයෙන්ම වාර්ෂිකව අපිට වාර්තා වෙන රෝගීන්ගෙන් සියයට තුනක්ම අවුරුදු පහළොවට අඩු දරුවන්. සංඛ්‍යාත්මකව බැලුවොත් එය වාර්ෂිකව දෙසිය පනස් දෙනෙක් පමණ වෙනවා” වෛද්‍යවරිය පෙන්වා දෙන්නීය. ක්‍ෂය රෝගය යළි හිස ඔසවමින් සිටින්නේ අපේ රටේ පමණක් නොවේ. අද වෙද්දී ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවක්ම මෙම රෝගය ආසාදනය වූවෝ වෙති. එහෙත් ඉන් රෝග ලක්‍ෂ්ණ පෙන්නුම් කරන්නේ මිලියන දහයක් පමණි. ඉන් සියයට එකොළහක ප්‍රතිශතයක් දරුවන් වන අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණු ආසියානු කලාපයේය. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල, සියයට හතළිස් හතරක් පමණ වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂයකට හැට හතර දෙනෙක් මෙම රෝගයට ගොදුරු වූවෝ වෙති. ඒ අනුව බැලූ කල රටේ ක්‍ෂය රෝගීන් වාර්ෂිකව දහහතර දහසක් පමණ සිටිය යුතුය. එහෙත් වාර්තා වන්නේ ඉහත කී පරිදි නවදහසක් පමණි. “අපිට සංඛ්‍යාලේඛන ලැබෙන්නෙ ප්‍රතිකාරවලට යොමු වෙන සංඛ්‍යාව අනුවයි. ඒත් තවමත් මේ රෝගයට බෙහෙත් ගන්න මැළි වෙන පිරිස් සිටිය හැකියි. ඒ අනුව බැලුවාම දැනට වාර්තා වෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ ක්‍ෂය රෝගීන් ඉන්න පුළුවන්.” මෙම රෝගය බෝවුණ වයස්ගත පුද්ගලයන් රෝගය උත්සන්න වනතුරුම ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට නොඑන බවද හෙළිවී තිබේ. හේතුව ඔවුන් එය සාමාන්‍ය කැස්සක් ලෙස සලකා ඒ සඳහා වෙනත් ප්‍රතිකාරවලට යොමු වන හෙයිනි. එමෙන්ම විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මෙන්ම දෛනිකව මුදල් සොයා ගන්නා රැකියාවල නිරත පුද්ගලයන් ද රෝග ලක්‍ෂණ පහළ වුවත්, ඒ සඳහා ප්‍රතිකාර ගැනීම කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලකි. “ක්‍ෂය රෝගයට බිය වෙන්න කිසිම කාරණාවක් නැහැ. මොකද මේ රෝගය නිසි ප්‍රතිකාරවලින් නිට්ටාවට සුව විය හැකි රෝගයක්. මාස හයක් පමණ අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම පමණයි කළ යුතු වෙන්නෙ” වෛද්‍යවරිය වැඩිදුරටත් පවසයි. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් එය නිට්ටාවටම සුව කරගැනීම ඉතාමත් පහසු වේ. එහෙත් බොහෝ දෙනා ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ රෝගය උත්සන්න වීමෙන් අනතුරුවය. එබැවින් අදටත් බෝවෙන රෝගවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ක්‍ෂය රෝගයෙනි. මේ වන විට කොවිඩ් රෝගය වැලඳී මිය යන සංඛ්‍යාව ඊට වඩා වැඩි අගයක් ගත්තද, අනෙක් බෝවෙන රෝගවලින් වැඩිපුරම මිය යන්නේ ක්‍ෂය රෝගීන්ය. වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පෙන්වා දෙන පරිදි වාර්ෂිකව අපේ රටේ ක්‍ෂය රෝගීන් පන්සිය දෙනෙක් පමණ මිය යති. ක්‍ෂය රෝගය ආශ්‍රිතව මෙරට මරණ ප්‍රතිශතය සියයට හය ද ඉක්මවා ඇත. ඉන් බහුතරයක් දෙනා මිය ගොස් ඇත්තේ ප්‍රතිකාරවලට යොමු වූ පළමු මාස දෙක ඇතුළතය. ඉන් පැහැදිලි වෙන්නේ තවමත් බොහෝ දෙනෙක් ක්‍ෂය රෝගය ප්‍රතිකාර කරන්නට යොමු වෙන්නේ රෝගය වැලඳී සෑහෙන කාලයකට පසුව බවයි. අප අසා තිබුණේ ක්‍ෂය රෝගය වැලඳෙන්නේ පෙණහලු ආශ්‍රිතව පමණක් බවයි. එහෙත් ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියයකට මෙම රෝගය වැලඳිය හැකිය. විශේෂයෙන් වසා ගැටිති, මොළයේ පටල ආශ්‍රිතව, ඩිම්බ කෝෂ, බඩවැල, කොඳු ඇට පෙළ, ඇටමිදුලු ආශ්‍රිතවද ක්‍ෂය රෝගය වැලඳිය හැකිය. රෝග ලක්‍ෂණ පහළ වෙන්නේ රෝගය බෝ වූ ඉන්ද්‍රිය අනුවයි. පෙණහලු ආශ්‍රිතව රෝගය වැලඳුණ විට, බොහෝ විට කල්පවතින කැස්සක් පැවතීම ක්‍ෂය රෝගය හඳුනා ගත හැකි ප්‍රධානම රෝග ලක්‍ෂණයයි. “සාමාන්‍යයෙන් අපි කියන්නෙ සති දෙකකට වඩා පවතින කැස්සක් ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වෙලා අදාළ පරීක්‍ෂණ කර ගන්න කියලයි. ඒත් එක්කම ක්‍ෂය රෝගය සමගම කෑම අරුචිය, මඳ උණ ගතිය, ශරීරයේ බර අඩුවීම, රාත්‍රියට අධිකව දහදිය දැමීම, වගේ රෝග ලක්‍ෂණ පහළ විය හැකියි.” විශේෂයෙන්ම වාතාශ්‍රය අඩු ප්‍රදේශවල රෝගය බෝවීමේ වැඩි ඉඩක් පවතී. ඒ අනුව නාගරික පැල්පත් නිවාස ආශ්‍රිතව, මෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව රෝගය වැඩිවැඩියෙන් බෝවිය හැකිය. “එයාලා ජීවත් වෙන්නෙ අඩු ඉඩක් ඇති වාතාශ්‍රය හෝ හිරුඑළිය නැති පරිසරවල. වාතාශ්‍රය හෝ හිරුඑළියට නිරාවරණය වුණොත් මේ බැක්ටීරියාව විනාශ වෙලා යනවා. ප්‍රතිකාරවලට යොමු වීම ප්‍රමාද වීම වගේම මේ කාරණාත් රෝගය බෝවීමට හේතුවක් වෙනවා.” එම නිසා මෙවැනි ස්ථානවල සිටින ආසාදිතයන් සොයා යමින් ප්‍රතිකාර කිරීමට මේ වසරේ සිට සැලසුම් කර ඇති බවද වෛද්‍ය පල්ලෙවත්ත කියන්නීය. එහි අරමුණ වී ඇත්තේ දෙදහස් තිස්පහ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ලක්‍ෂයකට දහයක් දක්වාවත් අඩුකර ගැනීමයි. එබැවින් වෛද්‍යවරිය අවධාරණය කරන්නේ රෝග ලක්‍ෂණ පහළ වූ වහාම ඊට නිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වීම ඉතා වැදගත් බවයි. “කුඩා දරුවන්ට එන්නත් කරන බී.සී.ජී. එන්නතෙන් සිදුවෙන්නෙත් ක්‍ෂය රෝගයේ බරපතළ තත්ත්වයන්ගෙන් අවුරුදු පහට අඩු දරුවන් ආරක්‍ෂා කිරීම පමණයි. ඒ නිසා කුඩා දරුවන්ට පවා මේ රෝගය වැලඳීමට ඉඩ තියෙනවා. නිසි පරිදි ප්‍රතිකාරවලට යොමු වී රෝගය නිට්ටාවට සුව කර ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසයි’’ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත තවදුරටත් අවධාරණය කරන්නීය. ගයාත්‍රි ගීගනආරච්චි
 

More News..