brand logo

ලෝකෙට පේන්න නෙවෙයි අපි විවාහ වුණේ

09 September 2020

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇය හා සැමියා වන ලෙන්ලි ජොන්සන් පෙනී සිටින සුන්දර මංගල ජායාරූප එකතුවක් සිය ෆේස්බුක් පිටුවට එක් කරමින් දමිතා ස්තුතිපූර්වක සංවේදි සටහනක් තබා තිබෙනවා. එකී පෝස්ටුව වෙනුවෙන් දමිතාගේ හිතමිත්‍රාදීන් හා රසික රසිකාවියන් දමිතාගේ විවාහය වෙනුවෙන් බොහෝ සුබ පැතුම් එක්කරමින් සිටිනවා. පරක්කු වුණත් දමිතාගේ විවාහය ගැන කතා කරන්න අපි අමතක කළේ නැහැ. දමිතා පහුගිය දවසක ඔබේ විවාහ මංගල උත්සවය පැවැත්වුණාද? මගෙයි, ලෙන්ලිගෙයි විවාහය ලියාපදිංචි කරලා දැන් අවුරුදු පහක් වෙනවා. ඒක බොහොම චාම් විදිහට සිද්ධ වුණ විවාහයක්. මගේ අම්මයි, අයියයි, පුංචි අම්මයි, පුංචි අම්මගේ දරුවනුයි විතරයි ඒ අවස්ථාවට සහභාගි වුණේ. මේ එදා විවාහය ලියාපදිංචි කරන මොහොතේ ලබාගත් ඡායාරූපද? නැහැ, ඒක සිද්ධ වුණේ බොහොම චාම් විදිහට. ලොකුවට වෙඩින් ගන්න මට එදත් අදත් කැමැත්තක් තිබුණෙ නැහැ. අපේ ආදර කතාවේ සිහිවටනයක් විදිහට තබාගන්න මෑත කාලයේ අපි දෙන්නා මේ මංගල ඡායාරූප ටිකක් ගත්තා. ඇත්තටම අපි ජීවත් වෙන්න ඕන ලෝකයට පෙනෙන්න නෙවෙයි, අපේ හිත්වලට දැනෙන විදිහට. අපේ සතුට අපේ හිත්වලට දැනෙන්න තිබුණම හොඳටම ඇති. මං ඒකට තමයි කැමැති. දමිතා-ලෙන්ලි ආදර කතාවට දිගු ඉතිහාසයකුත් තියෙනව නේද? ඇත්තටම අපි දැන හඳුනගෙන 2021 පෙරවාරි මාසයට අවුරුදු 18 ක් වෙනවා. ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් මේ අවුරුදු 18 පුරාවටම අපි අපේ ආදරය අරගෙන ආවා. මේ ලෝකෙ කාටවත් සියයට සියයක්ම ගැළපෙන මිනිස්සු හම්බ වෙන්නෙ නැහැ. අපි අතරත් අනාවබෝධය ඇතිවුණ අවස්ථා තිබුණා. ඒ හැම වෙලාවකම කතාබහ කරලා ඒ ප්‍රශ්න විසඳාගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා. මම හිතනවා ඒක තමයි කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ කියලා. මොකද ඒ තමන් ආදරය කරපු කෙනාගේ වරදක් තිබුණත් ඒක හදාගෙන ඒ කෙනාව රැකගෙන ජීවත් වෙන එකයි වැදගත්. නොගැළපීම් ගළපගෙන ඉවසා සිටීමද සාර්ථක ආදර කතාවක රහස... ආදරය කරද්දි ප්‍රශ්න ආවහම ඒක දරාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි. ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. මට ඒ ඉවසීම තිබුණා හැමදාම. ඒක තමයි මම දිනාගත්ත ලොකුම දේ. යම් යම් කාරණාවලදි ඉස්සර නම් මට හරියට තරහ ගියා. ඒ හැම තරහ ගිය අවස්ථාවකදීම තරහ ගියේ අසාධාරණයක් ඉදිරියේදියි. ඔහු ළඟ ඇති ඔබ සිත්ගත් ගුණාංග මොනවද? එයා කිසිම වෙලාවක මාව සැක කරන්නෙ නැහැ. හැම වෙලාවෙම මගේ ෆෝන් එක ගෙදර මේසෙ උඩ තියෙන්නේ. කවදාවත් එයා මගේ ෆෝන් එකවත් අරන් බලන්නෙ නැහැ. මගෙ හිතෙත් හොරයක් බොරුවක් නැහැ. එයා කොයිම වෙලාවකවත් මට කරදරයක් වෙන්නෙ නැහැ. මම වැඩකට ගියත් මට ඒ වැඩේ හරියට කරගන්න මානසික සුවය දෙන්න ඕන කියලා එයා දන්නවා. හැම වැඩකදීම මගේ ළඟින් ඉන්නවා. ලෙන්ලි කියන්නේ බොරු ආටෝපවලට කැමැති නැති මනුස්සයෙක්. මමත් බොරු ආටෝපවලින් යුත් මිනිස්සුන්ට අකැමැතියි. අපි හරිම සරලයි. මහ පොළොවේ පය ගහලා ඉන්න අය. අනිත් කාරණය ලෙන්ලි ඕනම වෙලාවක කාටහරි උදව්වක් ඕන නම් උදව් කරන කෙනෙක්. ගෙදර වැඩවලටත් දමිතට ලෙන්ලිගේ සහාය ලැබෙනවද? ඔව්. මට විවේකයක් නැතිව ගේදොර අස් කරන, දේවල් පිරිසුදු කරන වැඩ කරගන්න බැරි වුණොත් එයා ගේ අස්පස් කරනවා. එයා දන්නවා මගේ අම්මටත් ඒ වැඩ කරන්න බැහැ කියලා. ගෙදරට බඩු ගේන්න පොළට යන්නෙත් අපි දෙන්නම. අපේ ගෙදර ඉවුම් පිහුම් කරන්නේ මගෙ අම්මා. හැබැයි මමත් ඒ දෙවල් වෙලාවක් තිබුණම කරනවා. ඔය විදිහට අපි බොහොම සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. ජනප්‍රිය තරුවක් විදිහට ඔබ වටාත් කටකතා ගෙතෙත්දී ඔහුගේ ආදරයේ වෙනසක් වුණේ නැතිද? කටකතාවලින් කාටවත් මගේ පෞද්ගලික ජීවිතයට බලපෑමක් කරන්න හැකිවුණේ නැහැ. ඒකට හේතුව මගේ ස්වාමිපුරුෂයා, මගේ මව, මගේ සහෝදරයා හා මගේ ළඟම ඥාතීන් පිරිස මාව හොඳට තේරුම් අරගෙන ඉන්න නිසා. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ අය දන්නවා මම කවුද කියලා. ධම්මිකා සුරංජි පතිරණ ඡායාරූප-ප්‍රියන්ක රත්නායක ඇඳුම් නිර්මාණය-ප්‍රණීත් රණවීර, සුරංග ප්‍රනාන්දු හැඬගැන්වීම-ලක්කිත උක්වත්ත
 

More News..