brand logo

ලෝකවාසීන් බිලියනයක් අවතැන් වෙනවා

10 September 2020

වේගවත් ජනගහන වර්ධනය ආහාර හා ජල පහසුකම් සීමා වීම මෙන්ම ස්වාභාවික විපත් බහුල වීම යන ​හේතූන් මත 2050 වර්ෂය වන විට ලොව බිලියනයකට අධික ජනතාවක් අවතැන් වීමේ අර්බුදයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට නියමිත බව ගෝලීය පාරිසරික තර්ජන පිළිබඳ තවතම විශ්ලේෂණයකින් අනාවරණය කර ඇත. ආර්ථික සහ සාම ආයතනය (Institute for Economisc and peace) විසින් සම්පාදනය කර ඇති මෙම නවතම ලේඛනයට අනුව අනාගතයේ උද්ගතවිය හැකි පාරිසරික තර්ජන අටක් තක්සේරු කර ඇත. වඩාත් බලපෑමට ලක්විය හැකි ලොව කලාප සහ රටවල්ද අනාවරණය කර තිබේ. එම වාර්තාවට අනුව 2050 වර්ෂය වනවිට ලෝක ජනගහනය බිලියන 10කට ආසන්න වීමට නියමිතය. ඒ වනවිට වැඩිපුරම අවදානමට ලක්වීමට නියමිතව ඇත්තේ උප සහරා ප්‍රදේශ ඇතළත් අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග කලාපයේ රටවල්වල ජීවත් වන බිලියන 1.2ක ජනතාවක්ය. 2019 වර්ෂය වන විටද ලොව පුරා මිලියන 30ක ජනතාවක් අවතැන් වීමේ තර්ජනයට මුහුණ දී සිටින බව එම වාර්තාව අනාවරණය කරයි. මෙම ලේඛනය ඔස්සේ ගංවතුර, නියං සුළිසුළං සහ මුහුද මට්ටම ඉහළ යෑම යන පාරිසරික තර්ජනවලට මෙන්ම උෂ්ණත්වය ඉහළ යෑමටද ලෝකය මුහුණ දීමට සූදානම් විය යුතු බව පෙන්වා දී ඇත. ඉන්දියාව සහ චීනය වැනි රටවල් ඉදිරි දශක කිහිපය ඇතුළත දැඩි ජලහිඟයකට මුහුණ දිමට නියමිත අතර පාකිස්තානය, ඉරානය, මොසැම්බික්, කෙන්යාව සහ මැඩගස්කර් වැනි රටවල් රසායනික සංයෝජක හේතුවෙන් බලපෑම්වලට ලක්වීමට නියමිතය. මීට වසර 50කට පෙර ලොව තිබූ ජල පරිමාවෙන් 60%ක් දක්වා මිරිදිය ජල පරිමාව මේ වනවිට අඩු වී ඇතැයිද ඉදිරි වසර 30 ඇතුළත ලොව ආහාර වෙනුවෙන් ඇති ඉල්ලුම් 50%කින් ඉහළ යනු ඇතැයිද එහි දක්වා ඇත. එලෙස ආහාර ඉල්ලුම ඉහළ යෑමට බලපානු ඇත්තේ ආසියානු මධ්‍යම පාන්තිකයන්ගේ වර්ධනයයි. නයන තරංග ගමගේ
 

More News..