brand logo

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා

23 October 2019

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) කුරුණෑගල සහ මාලබේ පැවති ජනාධිපතිවරණ රැස්වීම් අමතා ප්‍රකාශ කළේය. සිංහල බෞද්ධකම කතාවෙන් පෙන්වනවා වෙනුවට වත්මන් ආණ්ඩුව බුදුපුත් සුරක්‍ෂා ක්‍රමය වැනි වැඩසටහන් රැසක් බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකර ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය. එම රැළි වලදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අපි මෙම ස්ථානයට රැස්වුණා. එය රට වෙනුවෙන් සිදුකරන යුතුකමක් බව මෙහිදී මම සඳහන් කරනවා. අපි බුදු දහමේ පෝෂණය සඳහා විශාල වැඩ කොටසක් කළා. "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමය යටතේ ගෞරවනීය සංඝරත්නය රක්‍ෂණය කිරීමට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පියවර ගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළ පරිදි වෙහෙර විහාර ඉදිකිරීමට හා අලූත්වැඩියා කිරීමට කිසිදු රජයක් වෙන් නොකල විශාල මුදලක් ලබාදී තිබෙනවා. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම හා පිරිවෙන් ගොඩනැගිලි ඉදිකිරීමත් අප සිදුකර තිබෙනවා. සිංහල බෞද්ධකම අප ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. කතාවෙන් සිංහල බෞද්ධකම අපි පෙන්වන්නේ නැහැ. එලෙස කතාවෙන් සිංහල බෞද්ධකම පෙන්වන විශාල පිරිසක් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය තරම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකළ වෙනත් පක්ෂයක් නොමැති බව මම අවධාරණය කරනවා.
 

More News..