brand logo

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

30 June 2020

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව ලොකුම තාවකාලික රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත කෙරිණි. පාපන්දු පිටි 22 ක් තරම් විශාල භූමි භාගයක ඉදි වී ඇති මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. මෙම දැවැන්ත රෝහල පසුගිය 27 වැනි සෙනසුරාදා නිල වශයෙන් විවෘත කෙරුණු අතර දැන් ඊට රෝගීන් ඇතුළත් කර ගන්නා බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. මුලින් ඇඳන් 2,000ක ප්‍රමාණයක් භාවිතය සඳහා සූදානම් කර තිබූ බවත්, ඉතිරි ඇඳන් 8,000ද බදාදා සිට භාවිතයට සූදානම් කරනු ඇති බවත් සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය. සාමාන්‍ය රෝහල්වල ඉඩකඩ නොමැති වීමෙන් විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. ඉන්දියාවෙහි වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්ත අතර දෙවැනි තැන සිටින්නේ දිල්ලියයි. ඉරිදා වනවිට එම ප්‍රාන්තයෙන් වාර්තා වී තිබූ ආසාදිතයන් ගණන 83,000 ඉක්මවා තිබිණි. තත්ත්වය වඩාත් බැරෑරුම් වෙමින් ඇති පසුබිම තුළ දුම්රිය මැදිරි පවා රෝහල් වාට්ටු බවට පත් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම දුම්රිය මැදිරි තුළ ද රෝගීන් 8,000 කට පමණ ඉඩකඩ සැලසෙනු ඇති බව සඳහන් වේ. සහන් වික්‍රමගේ
 

More News..