brand logo

ලොව ළාබාලම අගමැතිනිය

11 December 2019

ශ්‍රී ලංකාව ලොව පළමු අගමැතිනිය බිහිකර දශක 6කට පසුව පින්ලන්තය ලොව ළාබාලතම අගමැතිනිය බිහිකර තිබේ. ඇය 34 හැවිරිදි සානා මිරෙල්ලා මරීන්ය.ඇය එරට ප්‍රවාහන ඇමැතිනිය වශයෙන් කටයුතු කරමින් සිටියාය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඇන්ටි රින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පක්ෂය විසින් මරීන් අගමැති ධුරයට නම් කෙරිණි. නව අගමැතිනිය සානා ඊ​යේ දිවුරුම් දී රාජකාරී ඇරැඹුවාය. මෙතැන් සිට පක්ෂ 5කින් සැදුම්ලත් මධ්‍ය වාමාංශික සභාග රජයට නායකත්වය දෙනු ඇත්තේ ඇයය. එම දේශපාලන පක්ෂ 5කම නායකත්වය කාන්තාවන් විසින් දැරීම මෙන්ම ඔවුන් අතරින් සිවුදෙනකුට අවුරුදු 35ට වඩා අඩු අය වීමද විශේෂය. ස්වීඩන් ජනතා පක්ෂයේ නායිකාව 55 හැවිරිදිය. පින්ලන්තයේ ක්‍රියාත්මකවූ තැපැල් වර්ජනයට විසඳුම් දී එය අවසන් කිරීමට අපොහොසත් වීම අගමැති රින්ගේ ඉල්ලා අස්වීමට හේතුවයි. පින්ලන්තය ලොව ළාබාලම අගමැතිනිය බිහි කරනවිට නවසීලන්තයේ ද සිටින්නේ වයසින් අඩු අගමැතිනියකි. ඇය 39 හැවිරිදි ජැසින්ඩා ආර්ඩින්ය. යුක්රේන අගමැතිනි ඔලෙක්ෂි හොන්ඩර්ස් 35 හැවිරිදිය. අගමැති රින්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමට පක්ෂය තුළ ඡන්ද විමසීමක් පැවැත්විණි. ඉන් කරට කර සටනකින් ජයගැනීමට සානා සමත්විය. ප්‍රතිවාදිනිය වූයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ඇෆ්ටි ලින්ඩිවන්ය. ඉන් පසු විදෙස් මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා විශාල වැඩකොටසක් ඉටුකළ යුතු බවයි. තම වයස හෝ කාන්තාවක වීම අදාළ නොවන බව කී ඇය තමා කල්පනා කරන්නේ දේශපාලනයට රැගෙන ඒමට බලපෑ​ ​හේතු සහ ඡන්දදායකයාගේ විශ්වාසය දිනාගැනීම සඳහා ඒවා ඉටුකිරීමේ අවශ්‍යතාව ගැන බවය. පින්ලන්තයේ පක්ෂ 5කින් සැදුම්ලත් මධ්‍ය වාමාංශික සභාගය බලයට පත්වූයේ මීට සය මසකට කලිනි. අගමැති රින් ඉල්ලා අස්වුවද සභාග ආණ්ඩුවේ වැඩපිළිවෙළ පෙරට ගෙනයාමට පක්ෂ නායකයෝ එකඟ වූහ. එහිදී මහජන සුබ සාධනය හා යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන වෙන්කිරීමටද වසර 2035දී කාබන් විමෝචනය ශුන්‍ය කළ රටක් වීමද අරමුණු කෙරේ. ඉකුත් අප්‍රේල් මස පැවැති මහමැතිවරණයෙන් අසීරු ජයක් ලැබූ සමාජ ප්‍රතිවාදීන් බලයට පත්වීමෙන් පසු රාජ්‍ය වියදම් යුරෝ බිලියන 4කින් කපාදැමීමට ක්‍රියා කළේය. දශකයකට පසු පළමු වතාවට පින්ලන්තයේ ණය බර අඩුකිරීමට මේ තීරණය බලපෑ නමුත් එය ජනප්‍රිය තීරණයක් නොවීය. රින් අගමැති වශයෙන් පත්වූයේ වසර 20කින් මෙපිට එරට බලයට පත් පළමු වාමාංශික නායකයා වශයෙනි. ආදායම් විෂමතාව අඩුකිරීම අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් හා සමාජ සේවා සඳහා ප්‍රතිපාදන වැඩිකිරීම වැනි ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ඔහුගේ රජය ඉලක්ක කළේය. එසේ වුවද තැපැල් සේවකයන් 700කගේ පමණ දීමනා කපා හැරීමට ගත් තීරණය හේතුවෙන් තැපැල් සේවයේ වර්ජනයන් දියත් වූ අතර සති කිහිපයකට පසු එය දේශපාලන අර්බුදයක් වන තරමට දුරදිග ගියේය. අගමැති රින් ඉල්ලා අස්වූයේ එම වගකීම භාරගනිමිනි. වසර 2015දී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සානා මරීන් කියා සිටියේ, කුඩා කළ තමාට හැඟුණේ අදිසි දරුවකු, වැනි හැඟීමක් බවය. ඒ ඇය සිය පවුල් පසුබිම පිළිබඳ විවෘතව කතා නොකළ ඇය කීවේ එය දේදුණු පවුලක් වූ බවය. ඇයගේ පවුලේ විශ්වවිද්‍යාලයට ගිය පළමුවැන්නා වූයේද ඇයය. යොවුන් වියේදීම දේශපාලනයට ආකර්ෂණය වූ සානා, පුරසබයට තේරීපත්වූයේ 27 හැවිරිදි වියේදීය. වසර 2015දී ඇයට පාර්ලිමේන්තු පිවිසීමේ වරමද ලැබිණි. ඉකුත් ජුනි මස සිට ඇය පින්ලන්තයේ ප්‍රවාහන හා විදුලි සංදේශ ඇමැතිවරිය ලෙස කටයුතු කළාය. සානාට මා​ස 22 වියැති සිඟිති දියණියකද සිටී. පින්ලන්තයේ තුන්වැනි කාන්තා අගමැතිනිය බලයට පත්වී ඇතද සභාග ආණ්ඩුවේ පක්ෂ 5ම නායකත්වය කාන්තාවන් විසින් දරනු ලැබුවද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තවමත් දක්නට නොහැකි බවට චෝදනා නැගේ. එය දීර්ග කාලයක් තිස්සේ බලවත් ප්‍රශ්නයක් ලෙස ඇදෙමින් ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. සානා මරීන් ලොව ළාබාලම අගමැතිනිය වශයෙන් පත්වන විට ලොව වයෝවෘද්ධම අගමැති වයෙන් මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් යළිත් බලයට පත්ව සිටී. ඔහු 94 හැවිරිදිය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිධුරයට පත්වනවිට 70 හැවිරිදි වියේ පසුවිය. බ්‍රිතාන්‍යයේ 1806 වසරෙන් පසුව අවුරුදු 40ට අඩු අගමැතිවරයකු බලයට පත්වී නැත. පෙරේදා වනතෙක් සෙසු ලෝකය සානා මරීන්නම් චරිතයක් ගැන දැන නොසිටි තරම්ය. එහෙත් දැන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ද ආකර්ෂණීය චරිතයක් ලෙස අවධානයට ලක්ව සිටී. සුරූපී යුවතියක වන ඇයගේ සේයාරූ ඒවායේ වේගයෙන් සංසරණය වීමට පටන්ගෙන ඇත. දේශපාලනයේ නැගී එන චරිතයක් බවට පත්වෙමින් සිටියදී සිය ගැබිනි සමයට අදාළ සේයාරූද මෙන්ම බිලිඳු දියණියට මව්කිරි ලබාදෙන සේයාරූද ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව ඔස්සේ ප්‍රසිද්ධ කළාය. සිය සහකරු සමග පවුල් ජීවිතය ගත කරන ඇය සමරිසි සබඳතාවන්ට එරෙහි නොවන්නේ මවගේ පසුබිම නිසා විය හැකිය. සානා පසුකලෙක ප්‍රකාශ කළේ තමා උසස් පාසල් සිසුවියකව සිටියදී දේශපාලනයට පිවිසීමට හැකිවෙතැයි අපේක්ෂා නොකළ බවය. මේ ක්ෂේත්‍රය තමාට වඩා වෙනස් පවුල් පසුබිමකින් යුතු අය විසින් නියෝජනය කරන බව ඇයගේ නිරීක්ෂණය විය. කෙසේ වුවද වෙනස් පවුල් පසුබිමකින් ආ යොවුන් වියේදී බේකරියක රැකියාව කළ ඇය පින්ලන්තයේ අගමැති පුටුව දක්වා පැමිණී ගමන අධිෂ්ඨානය වුවමනාව හා කැපවීම මගින් ආ එකකි.
 

More News..