brand logo

ලොව විශිෂ්ටතම ශිෂ්‍ය ගෘහ නිර්මාණ ශිල්පියාට පිරිනැ​ෙමන INSPIRELI සම්මානය SLIIT හි තරුෂ රන්දුල දිනාගනී

19 November 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය වන SLIIT හි උපාධි අපේක්ෂක ශිෂ්‍ය තරුෂ රන්දුල, ලොව විශාලතම ශිෂ්‍ය ගෘහ නිර්මාණ තරගාවලිය වන INSPIRELI AWARDS හි දී ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වන විශිෂ්ටතම ජයග්‍රාහකයා ලෙස කිරුළු පලඳිමින් ශ්‍රී ලංකාවට ගෞරවය හිමි කර දුන්නේය. INSPIRELI සම්මාන උළෙල අන්තර්ජාතික සමාජ ජාලයක් වන Inspireli විසින් සංවිධානය කරන ලද අතර එය ගෘහ නිර්මාණ ශිල්පය, නාගරික සැලසුම්, භූ දර්ශනය සහ අභ්‍යන්තර නිර්මාණකරණය පිළිබඳ ජාත්‍යන්තර ශිෂ්‍ය තරගකරුවන්ගේ තරගාවලියකි. එහිදී නව කුසලතා ඇති සිසුන්ට, ඔවුන්ගේ හැකියාවන් ලෝකය හමුවේ එළි දැක්වීමට අවස්ථාව සලසා දීම සහ ඔවුන්ට ලෝක පිළිබඳ නිසියාකාර දැක්මක් ඇති කර ගැනීම සඳහා අවබෝධය පුළුල් කර ගැනීමට අවශ්‍ය, අවස්ථාව නිර්මාණය කර දීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ වී ඇත. එහිදී සංවිධායකයන් පවසනුයේ මීට වසර හතරකට පෙර ආරම්භ කෙරුණු INSPIRELI සම්මාන උළෙලේ එතෙක් මෙතෙක් ආසියාවේ සිසුවකු මෙම ගෞරවනීය සම්මානය හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවයි. එහිදී තරගාවලියේ ගෘහ නිර්මාණ අංශයේ අවසන් තරගකරුවන් 29 දෙනා අතරට තරුෂ ඇතුළත් වූ අතර, ඔහුගේ සැලසුම වූ “කුඩව” ප්‍රදේශයේ “සිංරාජ ගවේෂණ - වනජීවී පර් යේෂණ මධ්‍යස්ථානය” ජූරි සභාවේ වැඩි ආකර්ෂණයක් දිනා ගනිමින් ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර විය. මෙහිදී තරගකරුවන් ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ දෘශ්‍යකරණයන් පමණක් නොව, INSPIRELI AWARDS ජූරිය ඉදිරියේ ඒ පිළිබඳ පූර්ණ තාක්ෂණික තොරතුරු සහ සවිස්තරාත්මක දත්තයන්ද ඉදිරිපත් කළේය. පසුගියදා ප්‍රාග් නුවර පැවති INSPIRELI සම්මාන උළෙලේදී තරුෂ මෙම සම්මානය ලබා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පය, දේශපාලනය සහ මාධ්‍ය ලෝකයේ ගෞරවනීය හා කීර්තිමත් පුද්ගලයන් රැසක් මධ්‍යයේ දී ය.
 

More News..