brand logo

ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ශ්‍රී ලාංකිකයෙකුටත් අවස්ථාවක්

09 June 2021

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරනු ලබන තිදෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්ව සිටී. ප්‍රවීන්ට අමතරව අදාළ ලැයිස්තුව සඳහා පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී සහ බංග්ලාදේශයේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ද ඇතුළත්ව සිටී. අදාළ ක්‍රීඩකයින් තිදෙනාගෙන් මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද යන වග තේරීම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ඡන්ද පල කිරීමෙන් තෝරා ගැනීමට අයි.සී.සී.ය ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව ලබා දී තිබේ. මැයි මස මුල් සතියේ බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගැනීම හේතුවෙන් ප්‍රවීන්ට මෙම අවස්ථාව උදා වී තිබේ. එම තරගය ප්‍රවීන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මංගල ටෙස්ට් තරගය වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය සටහන් වූයේ මංගල තරගයේදී වමත් දඟ පන්දු යවන්නෙක් විසින් දැක්වූ ලොව විශිෂ්ටතම පන්දු යැවීම ලෙසයි. එම ලැයිස්තුවට ඇතුළත් බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ඉකුත්දා ශ්‍රී ලංකාව සමග පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 237ක් රැස්කර ගැනීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් අතරට ඇතුළත් වූයේය. මීට අමතරව හසන් අලී සිම්බාබ්වේ සමග නිමාවට පත් වූ ටෙස්ට් තරගාවලියේදී කඩුලු 14ක් දවාගෙන තිබුණේය. මෙහිදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමටත් අයි.සී.සී. ය කටයුතු යොදා තිබුණි. එම ක්‍රීඩිකාවන් ලැයිස්තුවට ස්කොට්ලන්තයේ කැතරින් බ්‍රයිස්, අයර්ලන්තයේ ගැබී ලෙවිස් සහ අයර්ලන්තයේම ලීහ් පොල්ගේ නම් ඇතුළත්ව තිබුණි. ස්කොට්ලන්තය, අයර්ලන්තය වැනි කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් මේ සඳහා ඇතුළත්ව තිබෙන්නේ ඒ සමයේ ප්‍රධාන පෙලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගාවලි නොපැවැත්වූ බැවිනි.
 

More News..