brand logo

ලොව විශාලතම මගී ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබස්සවයි

22 December 2018

ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම එහි ගමන්ගත් මගියෙකු අසනීප වීම නිසා අද (22) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. මෙය අබුඩාබි රාජ්‍යයට අයත් ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.ටී.ඩී.- 454 දරන ගුවන් යානයයි. මෙම ගුවන් යානය අද (22) අලුයම ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් කරමින් සිටියදී , එහි ගමන් ගත් පිරිමි ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම නිසා එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි . අලුයම 5.30 ට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ අතර , එහි මගීන් 490 ක් සහ කාර්ය මණ්ඩලය 22 ක් ද සිටිය බව ගුවන් ගමන් පාළකවරුන්ගේ ප්‍රකාශකවරයෙකු පැවසීය . මෙම යානයට ඉන්ධන ලීටර් 1,62,000 ක් පමණ ලබා ගැනීමේ ධාරිතාවක් පවතින අතර , මෙම යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව රුපියල් 80 ලක්ෂයක් පමණ වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් 70,000 ක් ද ලබා ගත් බව ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය . මෙම ගුවන් යානයේ පැමිණි අසනීප වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත භාර දීමෙන් අනතුරුව , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගිලන් රථයක් මගින් මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය . මෙම සියලු කටයුතු නිමා කළ මෙම ගුවන් යානය යළිත් අද (22) උදෑසන 7.40 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් ගියේය .
 

More News..