brand logo

ලොව වයස්ගතම මිනිසා සමුගනී

24 August 2020

ලොව වියපත්ම මිනිසා ලෙස සැලකුණු ෆ්‍රෙඩී බ්ලොම් පසුගිය සෙනසුරාදා (22 වැනිදා) ජීවිතයෙන් සමු ගත්තේය. දකුණු අප්‍රිකානු ජාතිකයකු වන ඔහු මිය යනවිට 116 වැනි වියෙහි පසු විය. බ්ලොම් උපත ලබා තිබුණේ 1904 වසරේ මැයි මාසයේයි. ඔහුගේ උපන් පළාත ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රදේශයයි. ඔහු මෑත ඉතිහාසයේ ලොව හටගත් දරුණුම වසංගතය ලෙස සැලකෙන ස්පාඤ්ඤ උණ වසංගතයටද මුහුණ දී තිබීම විශේෂත්වයකි. 1918 වසරේ මෙම වසංගතය පැතිරෙද්දී බ්ලොම්ගේ වයස අවුරුදු 14 ක් පමණක් විය. මෙම වසංගතයෙන් මිලියන 50කට ආසන්න පිරිසක් මිය ගිය බැව් විශ්වාස කෙරේ. ඔහුගේ පවුලේ සෙසු සියලු දෙනාද මෙම රෝගයට ගොදුරුව මිය ගිය බව සඳහන්ය. පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධද අත්දැකීමට බ්ලොම්ට හැකි විය. එමෙන්ම දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වූ වර්ණභේදවාදී පාලනයෙහි කටුක අත්දැකීම්ද ඔහුගේ ජීවිතය තුළ ගැබ්ව තිබේ. ෆ්‍රෙඩී බ්ලොම් ජීවිතය ගත කර ඇත්තේ කම්කරුවකු වශයෙනි. මුල් කාලයේ ගොවිපොළකත්, පසුව ඉදි කිරීම් ක්‍ෂේත්‍රයේත් ඔහු කටයුතු කර ඇත. බ්ලොම් මේ ආකාරයෙන් වැඩ කිරීම නතර කර ඇත්තේ වයස අවුරුදු 80දීය. මෙලෙස දීර්ඝායුෂ ලැබීමට හේතුව ගැන විමසූ විට ඔහු සඳහන් කරන්නේ කිසිදු විශේෂ රහසක් එහි නොමැති බවයි. එය දෙවියන්ගේ කැමැත්ත මත සිදු වූවක් බව ඔහු වරක් සඳහන් කර තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..