brand logo

ලොව ලස්සනම බිරිඳගේ පිටුපස සිටින සැමියා කතා කරයි

09 December 2019

වසර තිස් පහකට පසුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් යළි විවාහක රූ රැජින කිරුළකට හිමිකම් කීවාය. 2020 වසරේ ලෝක විවාහක රූ රැජින බවට පත් වූ ඒ සුන්දර කාන්තාව ‘කැරොලයින් ජූරි’ ය. කැරොලයින් විසිහත් හැවිරිදිය. ඇය වයස අවුරුදු දෙකක සිඟිති දියණියකගේ ආදරණීය මවය. කැරොලයින්ගේ ගමනට නිබඳව දිරිය ලබා දෙමින් ඇයගේ ශක්තිය වූයේ සිය ආදරණීය සැමියාය. ඔහු නිශාන්ත දීපාල්ය. ඇය අධ්‍යාපනය ලැබුයේ කඳාන සෙබෙස්තියන් බාලිකා විද්‍යාලයේය. සැමියා ද ඇයගේම සොහොයුරු පාසලේ කඳාන සෙබෙස්තියන් බාලක විදුහලේ අධ්‍යාපනය ලැබුවත් මේ දෙදෙනා ලංකාවේ දී නම් මුණ ගැසෙන්නේ නැත. දෙදෙනාට දෙදෙනා මුණ ගැසෙන්නේ ඩුබායි රාජ්‍යයේය. එහි දී දැන හඳුනාගත් කැරොලයින් සහ නිශාන්ත යුග දිවියට පත් වීමෙන් පසුවද ජීවත් වන්නේ ඩුබායි රාජ්‍යයේය. කැරොලයින්ට රූ රැජින තරගයට සහභාගී වීමට කැමැත්තක් ඇති වෙන්නේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තරගාවලිය ආරම්භ වන බව දැනගත් මෙහොතේය. ඇය ඒ සඳහා අයැදුම් කිරීමට යොමුවෙන්නේ එම ආසාව කෙසේ හෝ ඉටුකර ගැනීමටය. සිය සැමියාට ඒ පිළිබඳව පැවසූ අවස්ථාවේ ඒ සඳහා ඔහුගෙන්ද කිසිදු විරෝධයක් වූයේ නැත. ඔහු ඇයට පැවසුවේ කෙසේ හෝ ඇයගේ ආශාව ඉෂ්ට කරගන්නට තමන්ට හැකි උපරිම සහයෝගය ඇයට ලබාදෙන බවය. ශ්‍රී ලංකාවේ පැවති විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වීමට ඇය ඒ අනුව නැවත ලංකාවට පැමිණියාය. ආශාව සහ කැපවීම නිසාම ඇයට ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළ පලඳින්නට වාසනාව ලැබුණාය. ලෝක විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වන්නට ඇයට නව බලාපොරොත්තුවක් ඇති වෙන්නේ ඉන් පසුවය. ලෝක විවාහක රූ රැජින තරගාවලිය යම් අභියෝගයක් බවට ඇයට වැටහුණේ ඒ වෙන විටත් ලංකාවේ පැවති තරගාවලියට අමතරව කිසිදු තරගාවලියකට සහභාගී වී ඇයට අත්දැකීම් ​නොතිබූ නිසාය. නමුත් ඇයගේ සැමියා පවසන පරිදි කැරොලයින් දිරිය ගැහැනියකි. ඇය සිඟිති දියණිය එලීසාගේ සියලුම වැඩකටයුතු සිදුකරන අතරවාරයේ තරගයට සූදානම් වීමට ද ඇය අපමණ කැපවීමක් සිදුකළාය. තරගයට ටිකෙන් ටික දින ළංවෙද්දි කැරොලයින් ලංකාවට එන්නේ ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වල වඩාත් හොඳින් යෙදෙන්නටය. ඇය ලංකාවට තනිවම එන්නේ දියණියත් සමගින් වැඩ කටයුතු සිදුකර ගැනීමට තරමක අපහසු කටයුත්තක් බැවින්ය. ඇය ලංකාවට පැමිණි දිනයේ පටන් දියණිගේ සියලුම වැඩකටයුතු කරමින් ඇය රැක බලාගත්තේ ඇයගේ සැමියාත් ඔහුගේ මවත්ය. ඒ ඩුබායි සිටය. කැරොලයින් ලංකාවට පැමිණීමෙන් අනතුරුව තම පුහුණුවීම්වල දැඩි වුවමනාවෙන් නිරත වූයේ තමන්ගේ ජයග්‍රාහණයට වඩා රටට කීර්තියක් අත්කර දීමට ඇයට අවශ්‍යව තිබූ නිසාය. තරගයට දින ළංවෙද්දි නොවැම්බර් 30 වැනිදා ඇය ලෝක විවාහක රූ රැජින තරගය පැවැත්වෙන ඇමෙරිකාවේ ලාස්වේගාස් බලා පිටත් වූවාය. තරගය පැවැත්වූ දෙසැම්බර් 07 වැනිදා තෙක් තරග වට ගණනාවකට ඇය ඉදිරිපත් වූයේ තවත් රටවල් 51ක සුරූපිනියන් සමගින්ය. තරගය පැවැත්වීමට දිනයකට පෙර ඇය සමාජ ජාලා වෙබ් අඩවියකට වීඩියෝවක් මුදා හැරියාය. ‘‘මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මාතෘ භූමිය මම මගේ මාතෘ භූමියට ගෞරවයක් ගෙන දෙන්න සූදානමින් ඉන්නවා. මට උදව් කරපු සියලුම දෙනාට බොහොම ස්තූතිය.’’ යනුවෙන් එම වීඩියෝවේ සඳහන් වී තිබුණි. ඇයගේ සියලු ප්‍රාර්ථනාවන් මල්ඵල ගන්වමින් දෙසැම්බර් 07 වැනිදා රාත්‍රියේ ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවති ඒ අති උත්කර්ෂවත් තරගාවලියෙන් රටවල් 51ක් පරදවා අවසානයේ ලෝක විවාහක රූ රැජින කිරුළ තම හිස මත පලඳවාගන්නට කැරොලයින් සමත් වූවාය. ඇයට එම කිරුළ පලඳවනු ලැබුවේ ගිය වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ තමා සතු කරගත් වියට්නාමයේ ජෙනිෆර් ලීය. වසර 35කට පසුව ලංකවේ කාන්තාවක් ලෝකයේ වටිනාම කිරුළකට එලෙස හිමිකම් කීවාය. 1984 වසරේ ද ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි වූයේ ලංකාව නියෝජනය කළ රෝසි සේනානායක මහත්මියටය. කැරොලයින් එලෙස තම ජීවිතයේ තිබූ විශාල බලාපොරොත්තුවත් ඉෂ්ට කර ගත්තාය. ‘‘කැරොලයින්ට මුල ඉඳලම ආසාව තිබුණා. මේ වගේ තරගවලට, නමුත් මෙහෙම තරගයකට කියලා එයා ඉදිරිපත් වුණේ ලංකාවේ විවාහක රූ රැජින තරගයයට විතරයී. එයාට නිරූපන ක්ෂේත්‍රය ගැනත් ලොකු ආසාවක් තිබුණා.’’ කැරොලයින්ගේ සැමියා තම බිරිඳ පිළිබඳව එලෙස අපත් සමගින් පැවසුවාය. කැරොලයින් මේ සියලුම දේ සිදුකරන්නේ ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙසට සේවය කරන අතරතුරය. ‘‘මගේ බිරිඳ ගැන මට පුදුමාකාර ආඩම්බරයක් තියෙන්නේ. ඇය නිවසේ වැඩ මගේ වැඩ ළමයාගේ වැඩ කිසිවක් මගහැරියෙ නෑ. උදේට නැගිටලා කෑම හදලා ළමයාට කවලා ගෙදර වැඩත් ඔක්කොම ඉවර කරලා තමයි ඇය වැඩට යන්නෙ. කැරොලයින් හරි සාමාන්‍ය චරිතයක් ගෙදරදි. ඇත්තටම ලෝකයට එයා ​රැජිනක් තමයි. නමුත් එයාගෙ ලෝකෙ අපි දෙන්නා. මමයි මගේ දරුවයි.’’ ඔහු පවසන පරිදි ඉවුම් පිහුම් කලාවේ ද ඇය දක්ෂයෙකි. නිවසේ සියලුම වැඩ කිසිදු කෙනෙකුගේ සහයෝගයක් නොමැතිව ඇය තනිවම කරන්නේ තම සැමියා සහ දරුවා වෙනුවෙන් තමන්ම වැඩ කළ යුතු බව සිතාගෙන. ‘‘මගේ බිරිඳ සියයට සියයකටත් වඩා මම ම​ගේ දරුවා සහ මගේ පවුල වෙනුවෙන් කැපවෙනවා. ඇය වචනයේ පරිසමාප්ත​ අරුතින්ම ‘අම්මා කෙනෙක්’ මට ඇය පිළිබඳව තියෙන්නේ ගෞරවයක්,භක්තියක් ඒ වගේම ඇය මට වගේම ලෝකයටම ආඩම්බරයක්’’ ඒ කැරොලයින්ගේ සැමියා නිශාන්ත දීපාල්ගේ අදහස්ය. කැරොලයින්ට තම සැමියාගේම නිබඳ ශක්තියත් ලබා දෙමින් තම ගමනට ආශිර්වාද කරන්නේ ඇයගේ දෙමාපියන් දෙපළය. ඇයගේ මව තීදිස් ජුලියස් ජූරි පවසන්නෙ සිය දියණිය තමන්ට මෙන්ම රටට ද විශාල ආඩම්බරයක් බවය. ඇයගේ පියා රොෂාන් ජූරි ද සිය දියණිය ලැබූ විශාල ජයග්‍රහණය නිසා නිහතමානී ආඩම්බර වෙයි. කැරොලයින් ජීවත් වුණේ වත්තල මහබාගේ ප්‍රදේශයේය. ඇයට ආදරණීය සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් ඇත. ඒ සහෝදරයෝ දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකි. සිය සහෝදරිය ලැබූ ජයග්‍රාහණ පිළිබඳව ඔවුන් ද අතිශය සතුටට පත්වෙති. ‘‘මට තියන ලොකුම සතුට මගේ බිරිඳ මේ තරම් දුරකට ආවෙ එයාගෙ උනන්දුවෙන් කැපවීමෙන් විශේෂයෙන්ම තනිවම. ඒ උත්සාහයට ඒ ශක්තියට මම එයාට ගරු කරනවා’’ ඇයගේ ආදරණීය සැමියා නිරන්තරයෙන්ම කැරොලයින් පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙයි. මෙම තරගාවලියට සහභාගී වීමට ඇයට උදව් උපකාර කළ පිරිස් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බව ඇයගේ සැමියා අපත් සමගින් පැවසුවේය. ‘‘මේ ගමන එන්න විශේෂයෙන්ම කැරොලයින්ට උදව් උපකාර කළ රුක්මාල් දිසානායක, දිනේෂ් මල්පා, සංධිත් විජේසූරිය, ඩිලිනි දුමාරි, නෙවිල්, චලනි, චූලා ඒ වගේම ඇයගේ රූපලාවණ්‍ය කටයුතු භාරව සිටිය චන්දිමාල් ජයසිංහ මහතා විශේෂයෙන්ම මගේ පවුල, කැරොලයින්ගේ අම්මා තාත්තා, මගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියො’’ කැරොලයින් ජූරි එළැඹෙන අඟහරුවාදා එනම් 10 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. ලංකාවට කීර්තිය රැගෙනදුන් කැරොලයින්ට අප ද උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු. අශිකා ජයවීර
 

More News..