brand logo

ලොව රසදිය අධිකම ක්‍රීම් වර්ග ලංකාවේ

22 June 2019

නියමිත මාත්‍රාව ඉක්ම වූ රසදිය සංයුතියකින් යුත් සම පැහැපත් වීම සඳහා භාවිත කරන වයිට්නින් ක්‍රීම් වර්ග මෙරට වෙළෙඳපොළෙන්ද සොයාගෙන තිබේ. පාරිභෝගික අධිකාරිය මගින් කාර්මික තාක්ෂණ ආයතනයට ලබාදුන් කෙටි කාලයකින් සම සුදු පැහැ ගන්වන ආලේපන (whitening cream and lotions) වල සාම්පල දාහතක් පරීක්ෂා කිරීමේදී මෙය සනාථ වී ඇත. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ වයිට්නින් ක්‍රීම් කිලෝ ග්‍රෑමයකට යෙදිය හැකි සම්මත රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකකි. නමුත් නියැදි පරීක්ෂාවේදී මාලිකා, ලයිලා, ගෝරි, ගෝල්ඩන් පර්ල්, නුෂා යන ක්‍රීම් වර්ග අතරින් මාලිකා නමැති සාම්පලයේ පමණක් මිලිග්‍රෑම් 51752ක් තිබී හමුවූ බවත්, ලියාපදිංචි නොකර ජාවාරම්කරුවන් ගුවන් මගින් ගෙන්වන සිරුරට අහිතකර මෙවැනි දෑ ප්‍රතිඵල ඉක්මන් කියා තරුණ කොටස් මිලදී ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න ‘‘අරුණ’’ට හෙළි කළාය. කාර්මික තාක්ෂණික ආයතනය පරීක්ෂා කළ ක්‍රීම් වර්ග දහසයෙන් දහයකම රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකොළොස්දහස ඉක්මවා ඇත. මේ අතරින් වැඩිපුරම රසදිය අඩංගුව ඇත්තේ මාලිකා, ගෝල්ඩන්, පර්ල්, ලයිලා, ගෝරි නුෂා යන නිෂ්පාදනවල බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සමට අහිතකර මෙවැනි ක්‍රීම් වර්ග ගැන ලෝකය පුරා පරීක්ෂා කිරීමේදී මීට පෙර විදෙස් රටකින් හමුවී ඇත්තේ නියමිත ප්‍රමාණයට වඩා තිස්දහස් ගුණයක් වැඩි ක්‍රීම් වර්ග පමණි. නමුත් ලංකාවෙන් පනස්දහස් ගුණයක් වැඩි ක්‍රීම් වර්ගද හමුවී ඇත. රසදිය ශරීරගත වීමෙන් වකුගඩු රෝග ස්නායු රෝග, සම දුර්වණ වීම, ප්‍රතිශක්තිකරණය අඩුවීම, පෙනීම අඩුවීම වැනි රෝගවලට ලක්විය හැකි බව වෛද්‍ය මතයයි. තිස්ස් රවීන්ද්‍ර පෙරේරා
 

More News..